waskaduwa-incident

අක්‍රියව තිබූ විදුලි පංකාවක් අනාරක්ෂිත විදුලි සැපයුමක් හරහා අලුත්වැඩියා කරමින් සිටි පුද්ගලයකුට විදුලිසැර වැදීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලීසිය සඳහන් කරයි.

වස්කඩුව කුඩා වස්කඩුව සමගිපුර පදිංචි ප්‍රභාත් කවිෂ්ක විජයතුංග (22) නමැති විවාහකයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.



මෙම පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර විවාහ වී ඇති අතර කොට්ටාව රුක්මල්ගම නඩුදෙණිය පාර ප්‍රදේශයේ තාවකාලික නවාතැන්පොළකට මීට දින තුනකට පමණ පෙර පැමිණ තිබේ.

ඒ අනුව (17) දා සේවය නිමවා නිවසට පැමිණ රාත්‍රී නින්දට යාමේදී අධික රස්නය නිසා විදුලි පංකාව ක්‍රියාත්මක කිරීමේදී එය අක්‍රිය වී තිබීම නිසා අනාරක්ෂිත විදුලි සැපයුමකින් විදුලිය ලබා ගෙන එය කොටස් කර අලුත්වැඩියා කිරීමට ගොස් තිබේ.



එම අවස්ථාවේදී දෙවරක් විදුලි සැර වැදී ඇති අතර පළමුවර අනතුරක් නොවූ නිසා යළිත් වරක් විදුලි පංකාව අලුත්වැඩියා කරමින් සිටියදී මෙසේ විදුලි සැර වැදී ඇති අතර පසුව එහි සිටි බිරිඳට මියගිය පුද්ගලයා පවසා ඇත්තේ ඉක්මනින් ටිප් ස්විචය අක්‍රීය කරන ලෙසයි.

එහෙත් එය ක්‍රියා විරහිත වී තිබීම නිසා මෙසේ විදුලිසැර වැදුණු පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය පවසයි.

කොට්ටාව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න