dodamgaslanda-school-incident

දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පාසලක පස් වැනි ශ්‍රේණියේ සිසුන් සිවු දෙනකු මත් පෙති වර්ගයපානය කර රෝගාතුර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම සිසුවකුගේ පියකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාරියාලය පවසයි.

පාසලේදී ඉකුත් 16 වැනිදා මත් පෙති වර්ගයක් පානය කිරීමෙන් පසුව දැඩි ලෙස රෝගාතූර වූ සිසුහු සිවු දෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.



විවේක කාලයෙන් පසු පන්ති කාමරයට පැමිණි සිසුන් සිවු දෙනකු වමනය කරනු දුටු පන්ති බාර ගුරුවරිය ඒ පිළිබඳව විමසීමෙන් පසුව ඔවුන් යම් කිසි පෙති වර්ගයක් පානය කර ඇති බව අනාවරණය කරගෙන ඇත.

පසුව ඔවුන් ප්‍රතිකාර සඳහා රිදීගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කෙරිණි.

මෙම සිසුන් සිවු දෙනාගෙන් එක් සිසුවකුගේ පියා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයකු වන බවත්, ඔහු පානයට ගෙනා මත් පෙති වර්ගයක් සොරකම් කර ඇති පුතා,

ඒවා පාසලට ගෙනවිත් තම මිතුරන්ට ද පානය කිරීමට දී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

සම්බන්ධයෙන් පරීක්ෂණ කරන මදුරාගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් එම සිසුවාගේ නිවෙස පරීක්ෂා කිරීමේදී එහි තිබී සැකකාර පියා පාවිච්චියට ගෙනා බව කියන හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගංජා සොයා ගැනීමට හැකි වී ඇත.

සැකකරුට එරෙහිව මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් සිවු දෙනාගේ තත්වය යහපත් අතට හැරී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.


කුරුණෑගල - පුෂ්පකුමාර ජයරත්න සහ කුරුණෑගල - චාන්දනී දිසානායක