rat-sri-lankan-air

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානයකට පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපලේ දී මීයකු රිංගීම හේතුවෙන් එම ගුවන් යානය පියාසර කිරීමට නොහැකිව දින හතරක් මේ වන විට නවතා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශ ප්‍රධානී අර්ජුන කපුගීකියන මහතා ඊයේ (26) පැවසීය.

එම ගුවන් යානය ලාහෝර් නුවර සිට පසුගිය 22 වැනිදා කටුනායක ගුවන් තොටුපළට ළඟා වූ බවත් මීයා යානයෙන් ඉවත් කිරීමට දින තුනක කාලයක් ගත වූ බවත් කපුගී කියන මහතා කීය.

එම ගුවන් යානය ලාහෝර් ගුවන් තොටුපළේ නවතා තිබෙන විට මීයකු රිංගා ඇති බවත් මීයා ගුවන් මගියකුගේ බෑගයකින් යානයට එන්නට ඇතැයි විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය.

මීයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් උපදෙස් ගැනීමට සිදු වූ බවත් ගුවන් යානය තුළ ද්‍රව්‍යයක් යොදා මීයා ඉවත් කිරීමට දින තුනක් ගත වූ බවත් ඒ මහතා කීය.



ගුවන් යානයට මීයා හානි කර ඇද්දැයි තාක්‍ෂණ ශිල්පීන් මේ වන විට පරීක්‍ෂා කරමින් සිටින බව ද කපුගීකියන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අත්ව තිබෙන ඉරණම සම්බන්ධයෙන් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ එම සමාගමේ වෘත්තීය සමිති නායකයන් ඊයේ (26) පස්වරුවේ එකිනෙකාට ඇඟිලි දිගුකර ගනිමින් ගුවන් සමාගමට දේශපාලනඥයන් කළ අපරාධය සාක්‍ෂි සහිතව තමන්ට ඔප්පු කළ හැකි බව ද එහිදී වෘත්තීය සමිති නායකයෝ කීහ.

කටුනායක ගුවන්තොටුපළේ දී පෙරේදා (25) අලුයම ඇතිවූ ව්‍යාකූල තත්වය පිළිබඳව කරුණු විමසීම සඳහා කොළඹ පිහිටි වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ දී ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවක දී මෙම උණුසුම් තත්වය ඇති විය.

කටුනායක දී පසුගිය ඉරිදා ගුවන් මගීන්ගේ ලේඛන පරීක්‍ෂා කිරීමට සේවකයන් නොමැතිවීමේ සිද්ධියට සේවකයන් වගකිව යුතු මෙන්ම එදින සේවයට වාර්තා නොකර නිවාඩු ගත් සේවකයන්ගේ වැඩ වහාම තහනම් කළ යුතු බවත් කියමින් එම සමාගම සේවකයන් විනාශ කරන්නේ යැයි ද කියමින් අමාත්‍යවරයා අඛණ්ඩව සේවකයන්ට දොස් නඟන්නට විය.

එම විරෝධයට ප්‍රතිචාර දක්වමින් වෘත්තීය සමිති නායකයන් පැවසුවේ

එම සමාගමේ සේවකයන් කිසි දිනක සේවය කරන ආයතනය වැටීමට කටයුතු නොකළ බවත් දේශපාලනඥයන් ශ්‍රී ලන්කන් සමාගම විනාශ කළ බවත්ය.

පසුගිය ඉරිදා සිද්ධිය සේවකයන්ගේ දුර්වලතාවෙන් වූ දෙයක් නොවන බව කී වෘත්තිය සමිති නායකයන් පැවසුවේ මගීන්ගේ ලේඛන පරීක්‍ෂා කරන කවුළු 60 කට නිලධාරීන් 35 ක් පමණක් සේවය කිරීම එම ගැටලුවට හේතුව වූ බවය. එවැනි සති අන්තයක නිලධාරීන් 12 ක් නිවාඩු ගැනීම සාමාන්‍ය තත්වයක් බවද කීහ.

ඉංජිනේරුවන් පසුගිය කාලයේ කළ වර්ජනයන් හේතුවෙන් එම සමාගමට තිබූ පිළිගැනීම බිංදුවට වැටී ඇති බව කී අමාත්‍යවරයා ඒ හේතුවෙන් එම සමාගම නොමිලයේ දුන්න ද භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවන තත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළේය.

මෙවැනි සිදුවීම් දිගින් දිගටම වීමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අය ද ඉවත් වන බවත් ගුවන් සමාගමට අවශ්‍ය තරම් සේවකයන් බඳවා ගැනීමට අනුමැතිය දී ඇති බවත් ඒ මහතා කීය.

වෘත්තීය සමිති බොරු පවසන අතර ඔවුන් එම ගුවන් සමාගමට ඇති පිළිගැනීම සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව කී අමාත්‍යවරයා එම ප්‍රශ්නය කාලයක සිට පවතින බව ද පැවසීය.

සාකච්ඡාවේ දී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ සමාගම සතුව ප්‍රමාණවත් ගුවන් යානා නොමැති වීම ප්‍රධාන ගැටලුව බවත් පුහුණු සේවකයන් නොමැතිවීම දැඩි ගැටලුවක් බවත්ය.



ගුවන් යානා මිලදී ගැනීමට නිවැරැදි අවස්ථාවේ දී කටයුතු කළ ද එය වැළැක් වූ බව කී සභාපතිවරයා පසුගිය ඉරිදා සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව ද කීය.

සමාගමට අයත් ගුවන් යානා තුනක් කාර්මික දෝෂවලට ලක්වීම එම තත්වයට ඇතිවීමට හේතුව බවත් මෙවැනි දේ වීම ස්වභාවික බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම සාකච්ඡා වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉහළ කළමනාකාරිත්වයේ සියලුම නිලධාරීන් සහ වෘත්තීය සමිති නායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.


යොහාන් භාසුර