priya-suriyasena-sumathi-awrds

ඊයේ (20) රාත්‍රී පැවති සුමති ටෙලි සම්මාන උළෙලේ ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන යූඩබ්ලිව් සුමතිපාල උපහාරයෙන් පිදුම් ලද  එක් අයකු වූයේ ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේන මහතා ය. ඔහු මීට මාස  හතරක පහක පමණ කාලයේ සිට අංශභාග රෝග තත්වයෙන් පෙළෙන අතර ඊයේ රෝද පුටුවෙන් සුමති සම්මාන උලෙළට කැඳවා ආවේය.
ඔහුගේ රෝග තත්වය නිසා විදිමත් ලෙස කතාකරන්නට අපහසු වූ අතර ඔහු වෙනුවෙන් ඔහුගේ එක් දියණියක සභාව අමතා ස්තූති කළාය. ප්‍රියා සූරියසේන මහතාට උපහාර පුදන අවස්ථාවේ සභාවේ සියල්ලන් අසුන්වලින් නැගිට ඔහුට ගෞරව දැක්වූ අතර ඔහුගේ ‘රටකින් එහා ඉගිළී‘ ගීතය සභාවේ අය ඔහු වෙනුවෙන් ගායනය කළෝය.
ප්‍රියා සූරියසේන වෙනුවෙන් ගායක රූකාන්ත ගුණතිලක,භාතිය සන්තුෂ් මෙන්ම එඩ්වඩ් ජයකොඩි ගායකයින්ද සහයෝගයෙන් යුතුව වේදිකාවේ කටයුතු කළෝය.
ප්‍රියා සූරියසේන 1949 ඔක්තෝබර් 27 වන දින උපන්නේය.

ඔහුගේ වයස දැන් 74 කි.
පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය ප්‍රදේශයේ උපන් ඔහුගේ පියා ජේමිස් අප්පුහාමි කවියෙකු වූ අතර, ඔහුගෙන් සංගීත කුසලතා ලැබුණි. ඔහුගේ මව ඒ.එම්.පොඩි මැණිකේය. ඔහු හතර දෙනෙකුගෙන් යුත් පවුලක එකම පුත්‍රයා විය.

1968 සිට 1971 දක්වා රජයේ 'හේවුඩ්' සංගීත විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.
1971 දී කැලණිය ගුරුකුල විද්‍යාලයේත් පසුව  කළුබෝවිල මහා විද්‍යාලයේත් අවසානයේ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේත් සංගීත ගුරුවරයකු ලෙස කටයුතු කළ නමුත් වසර 10 ක පමණ ගුරු දිවියෙන් සමුගෙන තම සංගීත දිවිය පූර්ණ කාලීනව කරගෙන ගියේය.

1978 දී ඔහු සංගීත ගුරුවරියක් වූ තමරා කුමාරි වීරසිංහ සමඟ විවාහ විය.
මෙම යුවළට එක් පුතෙකු සහ දියණියන් තිදෙනෙකු සිටී. ඔහුගේ පුත් ලක්ෂිත ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය  ලද අතර වෘත්තියෙන් විද්‍යාඥයෙකි.  වැඩිමහල් දියණිය මිනෝෂි වෛද්‍යවරියකි. දෙවැනි දියණිය ඉරෝෂි පෞද්ගලික බැංකුවක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියකි.

ප්‍රියදර්ශී සූරියසේන නම කෙටි කර ප්‍රියා සූරියසේන බවට පත් විය.


ඔහුගේ ප්‍රථම ගීතය අඳුර අඳුර මගේ පටිගත කළේ 1968 දීය.  ප්‍රියා 1972 දී SLBC හි ඔහුගේ මුල් ගීත කිහිපයක් පටිගත කළ අතර ඔහුගේ ගීත සඳහා තමාම සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රියා දක්ෂ තනු නිර්මාපකයෙකි. ආදරණීය නේරංජනා , හෙට දවස , මට වාසනා , සඳ මා මගේ සමරුම් පොතේ , එකම වීදියේ ,  ගෙලවට බැන්ද ගීත බොහොමයක් නිර්මාණය කළේ ප්‍රියාය.
 1970 දශකයේ තරුණයින්ගේ හද ගැස්ම බවට ප්‍රියා පත්විය. ඔහුගේ පළමු ගීත හතර: සරතස නිවා , මට වාසනා , හෙට දවස සහ අඳුර අඳුර මගේ අතිශය ජනප්‍රිය විය.පසුව නිකුත්වූ ‘සුදු පරෙවි රෑන සේ‘ ගීතය ජනප්‍රිය වුවත් පාසල් සිසුවියන්ගේ ශෘංගාර හැඟීමක් ඉදිරිපත්කිරීමක් ලෙස දක්වා 1970 දශකයේ ගුවන්විදුලියෙන් තහනමට ලක්කරන ලද ගීයකි.
ප්‍රියා බොහෝ චිත්‍රපටවල පසුබිම් ගායකයෙක් ද විය.

ගුරු වෘත්තියෙන් නික්මී 1990 දශකයේ ආරම්භයේදී ප්‍රියා සූරියසේන කැසට් නිෂ්පාදන ව්‍යාපාරයට නැඹුරු වූ අතර එහිදී ඔහු "ලක්ෂිත වෙළඳ මධ්‍යස්ථානය" නමින් ආයතනයක් ආරම්භ කර එම්එස් ප්‍රනාන්දු , පුන්සිරි සොයිසා , එච් ආර් ජෝතිපාල සහ චම්පා කල්හාරිගේ කැසට් පට නිකුත් කළේය . 1996 දී ප්‍රියා "සන්ෆ්ලවර්ස් විත් ප්‍රියා" ඇල්බමය සමඟින් නව සංගීත පරම්පරාවක් රටට ගෙන ආ අතර එය මිලියන ගණනක වයාපාරයක් විය.
 2009 වසරේදී සිරස සුපර්ස්ටාර් තරගයේදී ඔහුගේ ගීතයක් ගායනා කිරීම සම්බන්දයෙන් මතභේදයක්ද ඇතිවිය. පසුව විසඳුණි.