dental-ice-drug-prison

දන්තාලේප ඇසුරුම් තුළ අයිස් මත්ද්‍රව්‍ය අසුරා මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල රැඳවියන්ට ලබා දීමට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ නිලධාරීන්ට හැකි වී ඇත.

එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව මිලිග්‍රෑම් 6550 ක් සිය භාරයට ගත් බව බන්ධනාගාර ආරක්ෂක ඒකකය පැවසීය.



දන්තාලේපන ඇසුරුමේ තිබූ සියලු දත් බෙහෙත් බහලුමෙන් පිටතට ගෙන සූක්ෂම අයුරින් අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් සකසා එම බහලුම් තුළට යොමු කොට ඊට උඩින් දන්තාලේපනය පුරවා කිසිවකුට සැක නොසිතෙන අයුරින් අත්අඩංගුවට පත් කාන්තාව සහ පිරිමි පුද්ගලයින් දෙදෙනා විසින් රැගෙනවිත් තිබූ බවත් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර ඒකකය පවසයි.

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික බලකායේ නිලධාරීන් විසින් රැඳවියන් බැලීමට එන අමුත්තන් පරීක්ෂා කිරීම සඳහා යොදා ඇති වෙස්ලි මුරපොළ නැමැති ස්ථානයේදී පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවූ බන්ධනාගාර ආරක්ෂක ඒකකයේ නිලධාහු පැවසූහ.



අත් අඩංගුවට පත් පිරිස වැඩිදුර පරීක්ෂණ හා ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට බොරැල්ල පොලීසියට බාර දුන් බව බන්ධනාගාර ආරක්ෂක ඒකකය වැඩිදුරටත් පැවසීය.

මේ අතර වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට ලබාදීමට දුම්කොළ කැබලි ඇසුරු චොකලට් බිස්කට් රැගෙන ආ පුද්ගලයකු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය මගින් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ඒකකය පවසයි.

බන්ධනාගාර නිලධාරීන් විසින් බිස්කට් පැකට්ටුවේ අසුරණය ඉවත් කොට පරීක්ෂා කිරීමේදී බිස්කට් දෙකක් මැදට යොදා ඇති ක්‍රීම් තුළ අලවා තිබූ මෙම දුම් කොළ සොයාගත් බවත් එවැනිම ආකාරයෙන් බිස්කට් පැකට්ටුව තුළ තිබූ සියලුම බිස්කට්වල දුම් කොළ කැබලි අලවා තිබූ බවද එම ඒකකය පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ තහනම් මත්ද්‍රව්‍ය ඇතුළත් බිස්කට් පැකට්ටුව බොරැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

   බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ