electricity-bill-fix

විදුලි ගාස්තු සංශෝධනයේ දී ලබා දිය හැකි උපරිම සහනය ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.



මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි 15වැනිදා අවසන් වීමෙන් පසු පෙබරවාරි 20වැනිදා වන විට ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසුවේය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ද කඩිනමින් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්, විදුලිබල මණ්ඩලයට අනුයුක්ත කර ඇති සේවකයන් තවදුරටත් අඩු කළ යුතු බවත් අමාත්‍යවරයා සදහන් කළේය.



සාම්පූර් බලාගාරය සදහා ගිවිසුම්ගත වීම මාර්තු මාසයේ දී සිදු කිරීමට නියමිත බවත්, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය සඳහා අභිලාෂ කැදවීමට නියමිත බවත් හෙතෙම පැවසීය. ඉන්දියාව සමග ඒකාබද්ධ නළ පද්ධතියක් වෙනුවෙන් සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව ද ඔහු පැවසුවේය. එල්ඵන්ජී ලබාගැනීම සඳහා ඉන්දියාව සමග සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව ද ඔහු කීවේය.

ඉකුත් ඔක්තෝබර් මස සිට සියයට 18 කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50 ක් පමණ හැකි ඉක්මනින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පසුගියදා පැවසීය.