Hariharan-and-Indian-actors-and-actresses-came-to-visit-Therapi-Jaffna-5-in-the-hospital

ඉන්දීය ජනප්‍රිය සංගීතඥයකු වන හරිහරන් ඇතුළු කොලිවුඩ් නළුනිළියන් රැසකගේ සහභාගීත්වයෙන් යාපනය මුටුවේලි ක්‍රීඩාංගණයේ ඉකුත් 09 වැනිදා රාත්‍රී පැවැති සංගීත ප්‍රසංගයක ඇතිවූ තෙරපීමකින් පස් දෙනෙක් තුවාල ලැබූහ.මෙහිදී කලබල කළ 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලිසිය පවසයි.

මෙම සංගීත ප්‍රසංගයට ජනතාව පැමිණ ඇත්තේ රුපියල් 3000 සිට 25,000 දක්වා මිල ගණන්වලට ටිකට්පත් ලබා ගනිමිනි. සංගීත ප්‍රසංගය වෙනුවෙන් ප්‍රේක්ෂක විශාල පිරිසක් එකවර සහභාගීවීම හේතුවෙන් පොලීසියට පිරිස පාලනය කර ගැනීමට නොහැකි විය.ප්‍රේක්ෂකයන් පිරිසක් ප්‍රසංගය පැවැති වේදිකාව ඉදිරියෙන් යොදවා තිබූ පොලිස් බාධකය එකවරම කඩාගෙන ඇතුළුවීම හේතුවෙන් එසේ පැමිණීම වැළැක්වීමට පොලීසියට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවිය.

එහිදී තෙරපීමට ලක්වූ පිරිසක් ක්ලාන්ත වූහ.

පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තත්ත්වය පාලනය කර ඇත.මේ සිද්ධිය හේතුවෙන් සංගීත ප්‍රසංගය ද පැයකට ආසන්න වේලාවක් නතර කෙරිණි.මේ ප්‍රසංගයට ඉන්දියාවේ ජනප්‍රිය සංගීතඥයකු වූ හරිහරන් ඇතුළු ප්‍රසිද්ධ කොලිවුඩ් නළු නිළියන් වූ රම්බා, තමන්නා, අයිස්චර්යා රාජේෂ් ස්වේතා මෝහන්, යෝගි බාබු, කලාමාර්ස්ටර් ඇතුළු කලාකරුවෝ රැසක් සහභාගී වූහ. යාපනයේ මෙන්ම විවිධ පළාත්වලින් පැමිණි සිනමා ලෝලීන් විශාල පිරිසක් මීට සහභාගී වූ අතර ඇතැමුන් ප්‍රවේශ පත්‍ර නොලැබීම හේතුවෙන් අට්ටාල හා ගස් මතට ද නැගී සංගීත ප්‍රසංගය නරඹනු දැකගත හැකිවිය.සිද්ධිය පිළිබඳව යාපනය පොලිසිය පරීක්ෂණ පවත්වයි.