person-death-rat

තම නිවෙසට ඇතුළු වූ මීයකු සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු අතර වූ බහින්බස්වීමක් දුරදිග ගොස් එක් වරම ක්ලාන්ත වී ඇද වැටුණු බාල සහෝදරයා ප්‍රතිකාර සදහා තලංගම දිසා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ බත්තරමුල්ල තලංගම දකුණ පදිංචි එගොඩවත්ත ආරච්චිගේ අනුර කිත්සිරි නමැති (59) හැවිරිදි විශ්‍රාමික ගණකාධිකාරිවරයකු බව පොලිසිය

කියයි.මොහු දෙදරු පියකු වන අතර වැඩිමල් සහෝදරයා අවිවාහකව එකම නිවෙසේ වාසය කර ඇත.

ඊයේ (19) උදෑසන දියණියන් දෙදෙනා සහ බිරිය පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා නිවෙසින් බැහැරට ගිය අවස්ථාවේදී නිවෙසේ රැඳී සිට ඇත්තේ මෙම සහෝදරයන් දෙදෙනා පමණක් බව පොලිසිය කියයි.වැඩිමල් සහෝදරයා රැඳී සිටින කාමරයට ඇතුළු වී සිටි මීයකු එළවා දැමීමේදී එම සත්වයා යාබදව පිහිටි බාල සහෝදරයාගේ කාමරයට ඇතුළු වී ඇති බවත්, පසුව ඒ සම්බන්ධයෙන් වැඩිමල් සහෝදරයාට දෝෂාරෝපණය කරමින් දෙදෙනා අතර බහින්බස්වීමක් හටගෙන ඇති බව පැවැසේ.

එම අවස්ථාවේදී වැඩිමල් සහෝදරයා පවසා ඇත්තේ “මල්ලී උඹ හාර්ට් ඇටෑක් එකක් තියෙන මිනිහෙක් නේද? කට වහගෙන එළියට පලයන් මම උඹලගේ කාමරයට එළවපු මීයෙක් නෑ” යනුවෙනි.

එහෙත් බාල සහෝදරයා දිගින් දිගටම වැඩිමල් සහෝදරයා සමඟ බහින්බස්වීමක් ඇති කරගන්නා අවස්ථාවේදී, එක් වරම ඔහු ක්ලාන්ත වී බිම ඇද වැටී ඇති අතර පසුව වැඩිමල් සහෝදරයා සහ අසල්වාසීන් එක්ව ප්‍රතිකාර සඳහා ඔහු තලංගම දිසා රෝහලට ඇතුළත් කර ඇත.

රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු ඒ වනවිටත් මිය ගොස් ඇති බවයි. ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය ගොස් ස්ථානීය පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුර කොළඹ ජාතික රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළාය. මියගිය පුද්ගලයාගේ බිරිය පැමිණ පවසා ඇත්තේ වැඩිමල් සහෝදරයා තම සැමියාට පහරදී මෙසේ මිය යන්නට ඇති බවත් මරණය සැකසහිත බවත්ය.

ඒ අනුව සිරුර පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු මහේස්ත්‍රාත් පරීක්ෂණයක් හරහා සිදුකරන ලෙසට

හදිසි මරණ පරීක්ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පොලිසියට නියෝග කළ අවස්ථාවේදී පැමිණ සිටි තවත් ඥාති පිරිසක් මරණය සැකසහිත නොමැති බව පවසා ඊට බිරිඳ දකැමැති කරවාගෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයකින් තොරව ඉදිරි විමර්ශන සිදුකිරීමට පියවර ගෙන ඇත.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න