electric-goods-online-fraud

අන්තර් ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන ඇතැම් කූට වෙළෙඳුන් ප්‍රමිතියෙන් තොර අක්‍රිය ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වැඩි මිලට විකුණා ජනතාවගේ මුදල් කොල්ලකන ජාවාරමක් කරගෙන යන බවට හෝමාගම, අතුරුගිය, නුගේගොඩ ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව චෝදනා කරති.

එම භාණ්ඩ අතර මදුරුවන් පලවා හරින විදුලියෙන් ක්‍රියාකරන උපකරණ (රුපියල් 1200), චාර්ජ් කරන විදුලි පන්දම් (රුපියල් 2500) ඇතුළු විදුලි උපකරණ රැසක් වන බවත් ඒවා මිලදී ගෙන භාවිත කිරීමට යාමේ දී එම උපකරණය අක්‍රීය වී ඇති බවත් ඇතැම් උපකරණවලට අවශ්‍ය මෙවලම් අඩු බවත් එම ජනතාව පවසති.



ඒ සම්බන්ධයෙන් එහි සඳහන් දුරකථන අංකවලට දැනුම් දීමට යාමේ දී ඇතැම් දුරකථන අංක භාවිතයේ නැති බවත් ඇතැම් දුරකථන වලට පිළිතුරු දීමට කිසිවෙක් නැති බවත් ජනතාව තවදුරටත් කියති.

එම භාණ්ඩ තැපැල් මාර්ගය ඔස්සේ බෙදාහරින බැවින් භාණ්ඩ පරීක්‍ෂා කර මුදල් ගෙවීමට නොහැක. එසේ අක්‍රීය වූ භාණ්ඩ නැවත භාර දීමට පුද්ගලයකු හෝ ආයතනයක් ද නොමැත. එ නිසා ජනතාව අසරණ වී සිටින බැවින් මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුකර මෙවැනි කූට ජාවාරම්කරුවන්ට එරෙහිව අවශ්‍ය නීති සම්පාදනය කරන මෙන් ජනතාව ඉල්ලා සිටිති.

 හෝමාගම ප්‍රියන්ත ජයලත්