education-letters

2024 වර්ෂය සඳහා 1,5,6 ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපි නිකුත් නොකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම  සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළයුතු අතර, විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදුකරන බවද අමාත්‍යාංශය දැනුම් දෙයි.



පාසල්වල හයවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදුකරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. 2024 වර්ෂයේ 1,5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්ති සඳහා අ.පො.ස. (උසස් පෙළද ඇතුළුව) සිසුන් ඇතුළත් කිරීමටද  අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු අතර, එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප්‍රකාරව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාමලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇති බවද අමාත්‍යාංශය පවසයි.එසේම පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ  ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරනු නොලබන බවද දන්වා සිටියි.