dambulla-tense-situ

 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස දෙවැනි තරගයේ ප්‍රවේශපත්‍ර අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර තිබුණද, ඊයේ (19දා) පෙරවරුවේ නැවත දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාරියාල භූමියේදී රුපියල් 200 හා රුපියල් 500 ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමට සූදානම් වීමත් සමග, අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් පැමිණ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

තත්ත්වය පාලනය කිරිම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන,පිරිස පාලනය කිරීම සඳහා දැඩි වෙහෙසක් දරන්නට විය. ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා ස්ථානයේ පැය ගණනාවක් පෝලිමේ සිටි බ්‍රිතාන්‍ය ජාතික යුවළක්, ප්‍රවේශපත්‍ර ලබාගැනීමට නොහැකිව දැඩි අසීරුතාවකට පත්ව, එම ස්ථානයෙන් පිටව යන දසුනක්ද අපට දැකගත හැකි විය.

දඹුල්ල ක්‍රීඩාංගණය ඉදිරිපිට රැඳී සිටින කණ්ඩායමක් රුපියල් 200 ප්‍රවේශපත්‍රයක් රුපියල් 1000- 1500ත් අතර මුදලකටත්,

රුපියල් 500 ප්‍රවේශපත්‍රයක් රුපියල් 2000කටත් අලෙවි කිරීමට කටයුතු සිදුකෙරෙන බවද ප්‍රදේශවාසීහු පැවසූහ.

කෙසේ වෙතත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රවේශපත්‍ර අලෙවි කරන ස්ථානයට අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් අලුයම් කාලයේ සිට පැමිණ පෝලිමේ සිටිමින් එක් අයෙකුට ප්‍රවේශපත්‍ර හතර බැගින් ලබාදීම සිදුකරමින් සිටියදී, එකවරම ඇති වූ උණුසුම් තත්ත්වයක් නිසා රැස්ව සිටි පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව කඩා බිඳ දමා එයට ඇතුළු වීමත් සමග, තත්ත්වය තවත් උණුසුම් විය. පසුව ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශපත්‍ර අලෙවි කරන පිරිස එම ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවා, ඔවුන්ගේ ප්‍රවේශපත්‍ර යන්ත්‍ර ඉවත් කරගනු ලැබූහ. ක්‍රීඩාලෝලීන්ගෙන් නැගුණු දැඩි ඝෝෂාව සහ ඉල්ලීම මත නැවත වරක් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ආරම්භ කළද,

එක් හැදුනුම්පතකට ප්‍රවේශපත්‍ර දෙක බැගින් ලබාදීමට

ඔවුන් පියවර ගනු ලැබීය. අලුයම් කාලයේ සිට පෝලිමේ සිටි පිරිස ඊටද දැක්වූයේ දැඩි විරෝධයකි. ඔවුන් කියා සිටියේ පවුලේ සිවුදෙනෙක් පැමිණ සිටියහොත්, ක්‍රිකට් තරග නරඹන්නට නොහැකි වන බවය. ප්‍රවේශපත්‍ර වැඩි මිල ගණන් යටතේ පිරිසක් අලෙවි  කරන්නේ කෙසේදැයි එතැන සිටි පිරිසගෙන් අප විමසීමේදී කියා සිටියේ, එය කළු කඩ මගින් සිදුකරන ක්‍රියාවලියක් බවය. කෙසේ වෙතත් එක හැදුනුම්පතකට ප්‍රවේශපත්‍ර දෙක බැගින් ලබාදීමට පියවර ගන්නා බවද ඔවුන් වැඩිදුරටත් සදහන් කළේය. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම ගොඩනැගිල්ල සහ භූමිය ප්‍රවේශපත්‍ර අලෙවි සඳහා ඉල්ලා සිටි නිසා අවස්ථාව ලබාදුන් බවය.

කෙසේ වෙතත් රාජ්‍ය දේපළට සිදුවූ හානිය පිළිබදව තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්වත් කර, එම කඩා බිඳ දැමූ ගේට්ටු නැවත සව් කර ගැනීම සඳහා යන වියදම් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සදහන් කළේය.

සටහන හා ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස