sanath-nishantha-driver-speaks

“සනත් නිශාන්ත මහත්තයා ජීවත් වෙලා සිටියා නම් මට මෙහෙම දෙයක් වෙන්නේ නෑ. මගේ රස්සාවත් නැති කළා. මට ජීවත් වෙන්න විදිහක් නෑ.” යැයි,හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියැදුරා වශයෙන් කටයුතු කළ ප්‍රභාත් එරංග දුල්නේෂා නමැත්තා වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා හමුවේ

ඊයේ (19) කියා සිටියේය.සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවළපිටිය ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු එසේ කියා සිටියේය.මෙම සිද්ධියෙන් අතෘප්තියට පත්වූ බව කියමින් සනත් නිශාන්ත මහතාගේ බිරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් මහතා, සැකකාර දුනේෂා නමැත්තාට විදේශගත වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේදී දුන්නේෂා නමැත්තා හැඬුම්බරව අධිකරණය හමුවේ එසේ පැවැසීය.



මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී සනත් නිශාන්ත මහතාගේ මෝටර් රථයේ ගැටුණු කන්ටේනර් රථයේ රියැදුරු මෙන්ම සනත් නිශාන්ත මහතාගේ රථය පැදවූ දුල්නේක්ෂා නමැත්තා ද අධිකරණයේ පෙනී සිටියේය.මෙම සිද්ධියට අදාළව සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ කඳාන පොලිසියේ නිලධාරීහු, මෙම මාරක රිය අනතුර සම්බන්ධව කළ විමර්ශනවල උදෘත ගොනු නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇතැයි දැනුම් දුන්හ. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් ලැබුණු පසු මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳව අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන්නේ යැයි කඳාන පොලිසියේ නිලධාරීහු වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්හ.

මෙම සිද්ධියෙන් අතෘප්තියට පත්වූ බව කියමින් සනත් නිශාන්ත මහතාගේ බිරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් මහතා කරුණු ඉදිරිපත් කරමින්, මෙම සිද්ධියේ දෙවැනි සැකකරුට එරෙහිව තමන් රහස් පොලිසියට පැමිණිලි කර ඇතැයි දැනුම් දුන්නේය.

ඔහු විදේශගත වීමේ සූදානම් ඇති හෙයින්, ඔහුගේ විදේශ ගමන් තහනම් කරන්නැයි නීතිඥ ධනරාජ් සමරකෝන් මහතා ඉල්ලීමක් කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන කඳාන පොලිසිය ඉල්ලීමක් කරන්නේ නැතැයි පෙන්වා දුන් අතර, අගතියට පත් පාර්ශ්වයක් කරන ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට අවකාශයක් නැතැයි අවධාරණය කළේය. ඒ අනුව, අගතියට පාර්ශවය කළ ඉල්ලීමට අවසර දීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, විමර්ශන කඩිනම් කිරීමට කඳාන පොලිසියට නියම කළේය.
 මනෝප්‍රිය ගුණසේකර