
ලොතරැයි පතක ජයග්‍රහණයට හිමි රුපියල් අසූවක මුදල ලබා දෙන ලෙස ඉල්ලා ලොතරැයි පත ඉදිරිපත් කළ අයෙකුට රුපියල් අසූව නොව රුපියල් ලක්ෂයක්ම පෙරේදා (18) ලබා දුන් ලොතරැයි අලෙවි නියෝජිතයකු පිළිබඳ කොස්ගොඩින් වාර්තා වෙයි.
කොස්ගොඩ ලොතරැයි අලෙවි නියෝජිතවරයා මෙන්ම පුවත්පත් අලෙවි නියෝජිත රෝහණ සේනානායක මහතා මෙම කාර්යය සිදු කර ඇත.
එහි පදිංචි වයෝවෘද්ධ පුද්ගලයෙකු රෝහණ සේනානායක මහතා හමුවීමට පැමිණි තම ලොතරැයි පතට හිමිව ඇති රුපියල් අසූවේ මුදල ලබාදෙන ලෙස ඉල්ලා අදාළ ලොතරැයි පත ඉදිරිපත් කොට තිබේ. එහිදී අදාළ ලොතරැයි පතේ අංක පරීක්ෂා කර බැලූ රෝහණ සේනානායක මහතාට පෙනී ගොස් ඇත්තේ ලොතරැයි පතට රුපියල් ලක්ෂයක මුදලක් හිමිවී ඇති බවයි.
මේ බව රෝහණ සේනානායක මහතා එම ලොතරැයි පත් හිමියාට පැවසූ විට ඔහු පවසා ඇත්තේ විහිළු නොකොට තමන්ට රුපියල් අසූවක් ලබා දෙන ලෙසයි. අනතුරුව රෝහණ සේනානායක මහතා ඔහුට කරුණු කාරණා පැහැදිලි කරදී රුපියල් ලක්ෂයක දිනුමක් හිමිව ඇති බව පෙන්වා දී අදාළ මුදල ලබාදීමෙන් පසු ඔහුට අනේක වාරයක් ස්තුති කළ එම පුද්ගලයා අදාළ මුදල රැගෙන පිටව ගොස් තිබේ.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
Comments
Post a Comment
Your comment will be visible after approval