black-list

දූෂණ සහ වංචා කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරිමට හේතුවක් කර නොගන්නා දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇතැයි වෙරිටේ රිසරිච් ආයතනය ප්‍රකාශ කළේය.ගිවිසුම්ගත බැඳීම් පැහැර හරින කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රතිපාදන තිබියදීත්,

එසේ නොකරන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව ද වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කළේය.ඉකුත් 2006 වසරේ හඳුන්වා දී ඇති ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල ඇති හිදැස් හේතුවෙන් ඉහත පළමු ගැටලුව මතු වී ඇති බවත්, දූෂණයට එරෙහිව සටන් වැදීම සඳහා ඉතා ඉක්මනින් එම හිදැස් වසා දැමීමට කටයුතු කළ යුතු බවත්, මෙම වාර්තාවෙන් හෙළි කර ඇතැයි ද එම ආයතනය ප්‍රකාශ කළේය.



ගිවිසුම්ගත බැඳීම් පැහැර හරින කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට පමණක් නොව එම කොන්ත්‍රාත්කරුවන්ගේ නම් පොදු, මාර්ගගත දත්ත ගබඩාවකින් ප්‍රකාශයට පත් කිරීමට ද ප්‍රතිපාදන තිබුණත්, පසුගිය වසරේ ජුලි මස වනතෙක් එම දත්ත ගබඩාවේ කිසිම නමක් ප්‍රදර්ශනය වී නොමැති බව ද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. එයට හේතුව, පවතින රෙගුලාසිවලට අනුකූල නොවීම බව එම වාර්තාවෙන් පෙනී යන්නේ යැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි.

අනෙක් දකුණු ආසියානු රටවලත් මෙවැනිම දත්ත ගබඩාවක් ඇති බවත්, නේපාලයේ එම දත්ත ගබඩාවට ගිවිසුම්ගත බැඳීම් පැහැර හැරි කොන්ත්‍රාත්කරුවන් 629කගේ සහ බංග්ලාදේශයේ දත්ත ගබඩාවට ගිවිසුම්ගත බැඳීම් පැහැර හැරි කොන්ත්‍රාත්කරුවන් 510කගේ නම් ඇතුළත් වී තිබෙන බවත් එම වාර්තාවෙන් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.


විමුක්ති එස්. රුද්‍රිගු