australia-abc-kandy-abuse


 මහනුවර වෙළම්බඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක සම්බාහන මධ්‍යස්ථානයක දී තමන්ට ලිංගික අපයෝජනයක් සිදු වූ බව කියමින් ඔස්ට්‍රේලියාවේ ඒ.බී.සී. මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කරන 39 හැවිරිදි කාන්තාවක නුවරඑළිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.



පැමිණිල්ල කළ විදේශීය කාන්තාව ඇගේ පවුලේ සාමාජිකයන් සමඟ පසුගිය 06වැනිදා සිට 09 වැනි දින දක්වා අදාළ හෝටලයේ නවාතැන් ගෙන සිට තිබෙන බව පොලීසිය පවසයි. තමන්ට සම්බාහනයක් කර ගැනීමට අවශ්‍ය බව දැනුම් දීමෙන් පසු මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ කරගත් පුද්ගලයකු හෝටලයට පැමිණ සම්බාහන කටයුතු සිදුකළ බවත්, එම අවස්ථාවේ ඔහු තමන්ට ලිංගික අපයෝජනයක් කළ බවත් විදේශීය මාධ්‍යවේදිනිය පොලීසියට පවසා ඇත.

සම්බාහන කටයුතු සඳහා පැමිණ තිබෙන පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කරන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.



පැමිණිල්ල කළ මාධ්‍යවේදිනිය වෛද්‍යවරයකු වෙත හෝ අධිකරණය වෙත ඉදිරිපත් වීමට නොහැකි බව ලිඛිතව දැනුම් දී තිබෙන බව වෙළම්බොඩ පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධියට සම්බන්ධ බව කියන ක්‍රිකට් විනිසුරුවරයා සොයා විමර්ශන කටයුතු ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරයි.


චමිල් රූපසිංහ