vijitha-herath-speaks

ලෝක දේශපාලනයේ සිදුව තිබෙන වෙනස්වීම්වලට අනුරූපව තම පක්ෂයේ ක්‍රියාමාර්ග ද වෙනස් වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (11) පැවැසීය.ලෝක දේශපාලන බල අරගලයට තම පක්ෂය ඇතුළත් නොවන බව ද කී මන්ත්‍රීවරයා ඕනෑම රටක් සමඟ රාජ්‍ය ත්‍රාන්ත්‍රික දේශපාලන සබඳතා පවත්වන බව ද කීය.මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් පසුගියදා කළ ඉන්දීය සංචාරය පිළිබඳව කරුණු දැක්වීම සඳහා

පැලවත්ත පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.විජිත හේරත් මහතා එහිදි වැඩිදුරටත් කියා සිටියේ රටේ ආර්ථික උන්නතිය උදෙසා ඕනෑම රටක් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් එහිදී තම රටේ වෛරීභාවය භෞමික අඛණ්ඩතාවට හානි ගෙන දෙන කිසිදු ක්‍රියාවක නිරත නොවන බවට සහතික වන බවත්ය.

රාජ්‍ය ආයතන විකීණිම සහපෞද්ගලිකරණය සම්බන්ධයෙන්ද කලාපීය දේශපාලනයට අනුගතව තම පක්ෂය වෙනස් වී ඇති බව පැවැසු හේරත් මහතා ඒ අනුව එදා තම පක්ෂය සිටි දේශපාලන ස්ථාවරය වර්තමානයේදී වෙනස් කර ඇති බව ද කීය.රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට හෝ විකිණීමේදී දැනට සිදුකරන විනිවිද භාවයෙන් තොර ඩීල් ක්‍රමවේදයට තම පක්ෂය තිත තබන බව කී මන්ත්‍රීවරයා එහිදී අනිවාර්යයෙන්ම ටෙන්ඩර් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව එම කටයුතු සිදුකරන බව ද පැවැසීය.

කාරණය සම්බන්ධව ඉන්දියාවේ අමුල් සමාගම සමඟ සාකච්ඡා කිරීමේ දී ඉතා උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ද අනාවරණය කළ මන්ත්‍රීවරයා එහිදි වත්මන් රජය ජනතාව දැනුවත් නොකිරීම වරදක් බව ද කීය.

ජාතික ජන බලවේගය රජයක් යටතේ ආයෝජන කටයුතු කිරීමට ශ්‍රී ලංකාව ලෝකයේ ඕනෑම රටකට විවෘත බව ද පැවැසු මන්ත්‍රීවරයා එහිදී අනුගමනය කරනුයේ පනහට පනහ ප්‍රතිපත්තිය බව ද පැවැසීය. ඕනෑම රටක් සමඟ සාකච්ඡා කළ පමණින් ගනුදෙනු කිරීමට මුණගැසුණු පමණින් ඒවා මෙහි ක්‍රියාත්මක කරන බවට සහතිකයක් නැතැයි ද වරදක් නම් එය නරකයැයි ද ඔහු කීය.

කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු කරුණකට ඉඩ දෙන අයුරින් කටයුතු නොකරන බව ද අවධාරණය කළේය. තම පක්ෂයේ ඉන්දිය සංචාරය දෙස ඇතැමුන් සෝපාසයෙන් බලමින් නොයෙක් විහිළු කතා කියන බවත් ඒවා ඒ අර්ථයෙන්ම බැහැර කරන බව ද කීය.මෙහිදී වඩාත් කලබල වී ඇත්තේ රෝහිත අබේගුණවර්ධන සහ කංචන විජේසේකර යන විහිළුකාර ඇමැතිවරුන් බව පැවැසූ හේරත් මහතා තම පක්ෂ නායකයා ටයි කෝට් ඇඳීම ගැන විවිධ කතා කියන කංචන ඇමැතිවරයාට කිවයුත්තේ ඔහු මේ වනවිට ජනතාව ඉදිරියේ සිටින්නේ නිරුවතින් බව ඔහුට සිහිපත් කළ යුතු යැයිද පැවැසීය. මෙහිදී ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
ආරියරත්න රණබාහු