15 හැවිරිදි බාලවයස්කාර සිසුවෙකුගේ භාරකාරත්වය හෝ ආරක්ෂාව දරා සිටිමින් එම දරුවාට වේවැලකින් පහරදීම, අඩන්තේට්ටම් කිරීම, හිංසා කිරීම හා නොසළකා හැරීම යන චෝදනාවලට වරද පිළිගත් විදුහල්පතිනියකට කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එන්.අබේරත්න මහතා රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් එම දරුවාට ගෙවන ලෙස නියම කළේය.

දොඩන්ගොඩ නවෝද්‍යා පාසලේ හිටපු විදුහල්පතිනිය වූ සරෝජිනී නිර්මලා කොතලාවල නමැත්තියකට මෙසේ දඩ නියම කෙරිණි.

ඊට අමතරව රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1500/ ක් ගෙවන ලෙසත්, නියම කළ විනිසුරුවරයා එම මුදල නොගෙවන්නේ නම් මාස තුනක සුළු වැඩ සහිත සිර දඬුවමක්ද,

වන්දි මුදල නොගෙවන්නේ නම් මාස 24 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය.

2013 ජූනි මස 26 හෝ ඊට ආසන්න දිනයකදී දොඩන්ගොඩදී එවකට බාල වයස්කාර දරුවෙකු වූ තොටවත්ත බණ්ඩාරගේ ඉෂාර ජගත් නම්වූ සිසුවා කෲරත්වයට පත් කරන ලදැයි කියමින් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

දොඩන්ගොඩ පොලීසිය මගින් එම වසරේ පොසොන් උත්සවය නිමිතිකොට තුඩුගල හංදියේ පහන් කූඩු තරගයක් හා ප්‍රදර්ශනයක් පවත්වා ඇති බවත්, දොඩන්ගොඩ නවෝද්‍යා විද්‍යාලය නියෝජනය කරමින් මෙම සිසුවා ඉදිරිපත් කළ බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුවට ප්‍රථම ස්ථානය හිමිවී ඇති බවත් නඩු විභාගයේදී අණාවරණය විය.

එම වේදිකාවේදී සිසුවා මුදල් චෙක්පත හා සහතික පත්‍රය ලබා ගත් පසු එය විදුහල නියෝජනය කරමින් ඉදිරිපත් කළ නිර්මාණයක් කියමින් විදුහල්පතිනිය තෑගි එම ස්ථානයේදීම ලබාගෙන තිබිණි.



ඉන්පසු ඇය තමාට එම ජයග්‍රාහී තිළිණ ලබා ගැනීමට ඉඩ නුදුන් බව පවසමින් පාසැලේදී ප්‍රසිද්ධියේ පහරදී ඇති බවත්, සෙසු ගුරු මහත්ම මහත්මීන් පවා නොසලකා හැර ඇති බවත්,තමා කැමැත්තෙන් සිටි තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උසස් පෙළට ඉදිරිපත් වීමට ඔහුට නොහැකිවූ බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

මෙය දඩ හා සිර දඬුවම් නියම කළ හැකි වරදක් වුවද, චූදිත විදුහල්පතිනිය 2018 වසරේ කළුතර අධ්‍යාපන කලාපයේ හොඳම විදුහල්පතිනිය වීම 2016 හා 2017 වසරවලදී සාමාන්‍ය පෙළ ප්‍රතිපල ඉහළ නංවා ගැනීමට දායකවීම හා වසර 29ක සේවා කාලය තුළදී සිදු කර ඇති වැඩදායක කරුණු හා මින් ඉදිරියට මෙවන් වැරදි සිදු නොකරන බවටවූ පොරොන්දුව සළකා බලා ඇයට ලිහිල් දඬුවමක් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

අනතුරුව විදුහල්පතිනිය 14දා විනිසුරුවරිය ඉදිරියේ එම මුදල ගෙවා දැමුවාය.



රජයේ අධිනීතිඥ මල්ෂා මඩවලගම මහත්මිය මෙහිදී පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ කනිෂ්ක වන්නිඅච්චි මහතා විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටියේය.
 කළුතර සුනිල් එස් .තන්ත්‍රිආරච්චි