dubai-nipuna

මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩුබායි නිපුණ නමැත්තාගේ ගෝලයන් සිව් දෙනකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක්ද සමග මුල්ලේරියාවේදී පෙරේදා (17) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී මත්ද්‍රව්‍ය, විද්‍යුත් තරාදියක් හා ජංගම දුරකතන 04 ක්ද සොයාගෙන ඇත.



සැකකරුට මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර උපකාර කළ වයස අවුරුදු 27-47 අතර වයස්හි පසුවන දෙහිඅත්තකණ්ඩිය, කැලණිය, විදුලිපුර යන ප්‍රදේශවල පදිංචි තිදෙනකුද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග පරිදි එහි අධ්‍යක්ෂ (බුද්ධි) පොලිස් අධිකාරි එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීමෙන් සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/ විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ කලාපයේ) උප ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්.එච්.ඒ. මධුරංග ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම කර වැඩිදුර පරීක්ෂණ පවත්වති.සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානයට බාරදී ඇත.

 ගයාන් සූරියආරච්චි