meegoda-kids-incident
මීගොඩ පොලිස් වසමේ කොම්පයාහේන ප්‍රදේශයේ නිවසකින් යතුරුපැදියක් සොරකම් කර, එය එම ප්‍රදේශයේම මාර්ගයක ධාවනය කරමින් සිටි පාසල් ළමුන් දෙදෙනකු එම යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පයාහේන ප්‍රදේශයේ පදිංචි, ගොඩගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 සහ 17 යන වයස්වල දරුවන් දෙදෙනකු බව ද පොලීසිය පවසයි.




මීගොඩ පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් කොම්පයාහේන ප්‍රදේශයේ විශේෂ වැටලීමකට යන අතර අංක තහඩු නොමැතිව සැකකටයුතු ලෙස මාර්ගයේ වේගයෙන් යතුරු පැදියක් ධාවනය වන බව දැක, ඔවුන් ඒ පසුපස හඹාගොස් යතුරුපැදිය නවතා පරික්ෂා කර, සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් දෙදෙනා පොලිස් ස්ථානයට රැගෙනවිත් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී 16 සහ 17 යන වයස්වල දරුවන් බවත් දෙදෙනා තමන් පදිංචි ප්‍රදේශයේම නිවසකින් සී ටී 100 වර්ගයේ යතුරුපැදියක් සොරකම් කර ඇති බව අනාවරණය කර ගෙන ඇත. එහි පිටුපස මඬ කවරය කොටට කපා තනි රෝදයෙන් මාර්ගයේ යතුරුපැදිය ධාවනය කර විනෝදවීමේ ඇති ආශාව මත යතුරුපැදිය සොරකම් කර ඇති බව ද ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී පොලිසිය තහවුරු කරගෙන ඇත.සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කර, ඔවුන් හෝමාගම මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නිහාල් වෙත්තසිංහ