ct-scanner-issue

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සහ කළුතර මහ රෝහලේ සී.ටී. යන්ත්‍ර අක්‍රීය වීම නිසා අදාළ පරීක්‍ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට රුපියල් කෝටි පහමහාරකට අධික මුදලක් මේ වනවිට වියදම් කර තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය සදහන් කරයි.



මීට අමතරව සමහර රෝගීන්ගේ පරීක්‍ෂණ කටයුතු ආසන්න රෝහල් වෙත යොමු කරමින් සිදුකර ගන්නා බවත්, රෝගියා ප්‍රවාහනය කිරීමට ගිලන් රථ යොදා ගන්නා නිසා ඒ වෙනුවෙන්ද අධික මුදලක් වැය වෙත බවත් එම සංගමය පෙන්වා දෙයි.

මෙම යන්ත්‍ර දෙක අලුත්වැඩියා කර ගැනීමට ආසන්න වශයෙන් රුපියල් කෝටි හතරක මුදලක් වැය වන බවට ගණන් බලා තිබෙන බවත්, අදාළ පරීක්‍ෂණ පෞද්ගලික අංශයෙන් සිදුනොකර යන්ත්‍ර දෙක අලුත්වැඩියා කටයුතු සිදුකරනු ලැබුවේ නම්, සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගැනීමටත් අවස්ථාව හිමිවන බවද එම සංගමය සදහන් කරයි.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ මාස තුනකට ඉහතදී සී.ටී. යන්ත්‍රය බිඳවැටුණු අවස්ථාවේදී අත්‍යවශ්‍ය යැයි තීරණය කොට පෞද්ගලික රෝහල්වලින් මාසයක් තුළ සිදුකළ පරීක්‍ෂණ සඳහා වැය කළ මුදල රුපියල් කෝටි එකහමාරකට ආසන්න බවත්, ඊට අමතරව එම රෝහලේ සී.ටී. පරීක්‍ෂණ සිදුකළ යුතු අනෙකුත් රෝගීන් මහනුවර ජාතික රෝහලට,

කෑගල්ල ශික්‍ෂණ රෝහලට සහ හලාවත මහ රෝහලට ගිලන්රථ මගින් ප්‍රවාහන කොට පරීක්‍ෂණ සිදුකිරීමට ක්‍රියා කර තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.

මෙම යන්ත්‍රය පසුව අලුත්වැඩියා කටයුතු කළ බවත්, එලෙස අලුත්වැඩියා කටයුතු සිදුකර කෙටිකාලයක් තුළ නැවත යන්ත්‍රය බිඳවැටී තිබෙන බවත්, කළුතර මහ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය බිඳවැටී මාස 10කට ආසන්න කාලයක් ගතවී තිබෙන බවත් එම සංගමය සඳහන් කරයි.

එම රෝහලේ පරීක්‍ෂණ කටයුතු සඳහා මේ වනවිට රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කර තිබෙන බවත්, ඊට අමතරව එම රෝහලේ අනිකුත් රෝගීන්ගේ පරීක්‍ෂණ සිදුකිරීමට හොරණ සහ හෝමාගම රෝහල් වෙත ගිලන්රථ මගින් රෝගීන් ගෙන ගොස් සතියට දින දෙකක් සී.ටී. පරීක්‍ෂණ සිදුකරනු ලබන බවත් එම සංගමය පෙන්වාදෙයි.

 ඉන්දික හේවාවිතාරණ