ranil-unp-revolution

පසුගිය සෙනසුරාදා (21) පැවති එජාපයේ විශේෂ මහා සම්මේලනයේදී පළවූ අදහස් අනුව ඉදිරි ජනපතිවරණයකට රනිල් වික්‍රමසිංහ සූදානම් බව ස්ථිරව ප්‍රකාශවූ පසුබිමක රනිල්ගේ නව දේශපාලන සැලසුම “UNP මුල්වී දේශපාලන පෙරළියක්“ ඇති කිරීම බව මේ වනවිට දේශපාලන ආරංචි මාර්ග හෙළි කර තිබේ. රනිල් නව තීරණ ලබාගන්නේ බැසිල් ප්‍රමුඛ පොදුජන පෙරමුණු සහාය ඔහුට නොලැබෙන පසුබිමකය.



ඒ අනුව ‘නිර්පාක්ෂික අපේක්ෂකයා‘ ලෙස රනිල් වික්‍රමසිංහ ජනපතිවරණයට එන්නේ ඊට පෙර මහමැතිවරණයක් පවත්වාය. තව සති කිහිපයකින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කරගැනීමෙන් පසු දැනට පොදු ජන පෙරමුණ බහුතරය සහිත ආණ්ඩුව විසුරුවා හරින්නට රනිල් තීරණය කර තිබේ. ඒ අනුව මහමැතිවරණය 2024 මාර්තු මාසයේ පවත්වන්නට සැලසුම් කර ඇත.
රජයේ බුද්ධි අංශ හා තවත් ආයතන කිහිපයක් කළ සමීක්ෂණ අනුව මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සුළුතරයක් වනු ඇති අතර එජාප,සජබ හා ජාජබ කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් ලබාගන්නට හැකියාව නැති බව පෙන්නුම් කර ඇත.

ඒ අනුව යළි බිහිවන්නේ සභාග ආණ්ඩුවකි. එම පක්ෂ 3 සමග තවදුරටත් ජනපති පදවියේ රැඳී සිටින රනිල් එකී නව සභාග ආණ්ඩුව සමග කිසියම් එකඟතාවයකට එන්නටත් එතැනදී  ‘නිර්පාක්ෂික අපේක්ෂකයා‘ නමින් ජනපති තනතුරට තරග කරන්නටත් සැලසුම වී තිබේ. ජනපතිවරණය 2024 ඔක්තෝබරයට සැලසුම් කර ඇත.

මෙම නව සැලසුම අනුව එජාපය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සම්බන්ධතා තවදුරටත් නොපවතිනු ඇත. මේ අතර සතිඅන්තයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මාධ්‍ය හමුවකදී මහාචාර්ය රංජිත් බණ්ඩාර රජයේ ක්‍රියා පිළිවෙත් විවේචනයට ලක් කළ අතරම ‘රනිල් ප්‍රතිරූප තබාගෙන සිටියාට මහමැතිවරණයේදී අන්තයටම පැරදුණා‘ ලෙස සෘජුවම ජනපති විවේචන කරන කාරණාද ප්‍රකාශ කළේය.
මේ අතර මේ දක්වා විවේචනයට ලක්වූ සෞඛ්‍ය ඇමති ධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කීම මත කෙහෙලිය වෙත   තවදුරටත් තබාගැනීමට නොහැකි බව පෙන්වාදී ඇති රනිල් එය අද (23) වෙනස් කිරීමටද තීරණය කර තිබේ.