horana-incident

හොරණ ආපනශාලාවකදී රූමත් තරුණියක පැහැරගත් ජෝතිෂ්‍යවේදියකු ඇතුළු තිදෙනා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.මෙලෙස රිමාන්ඩ් භාරයට පත්වූයේ තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන ජෝතිෂ්‍යවේදියා සහ ඔහුගේ සොහොයුරා සහ නැන්දණියයි. තරුණිය පැහැරගැනීමට යොදාගත් කුලී මෝටර් රථය ද පොලිසිය බාරයට ගෙන  ඇත.



සිසිල් බීම බෝතලයක් පානය කරමින් සිටි රූමත් තරුණියක මෝටර් රථයකින් පැමිණි තිදෙනකු විසින් පැහැරගෙන ගිය බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා හොරණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්. පනාවල මහතාට ලැබුණු තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ ඒ මහතා එම හෝටලය වෙත පැමිණ සිදුකළ මූලික විමර්ශනවලදී මෝටර් රථය ඉංගිරිය දෙසට පලා ගිය බවට අනාවරණය වී තිබිණි.අනතුරුව එම තරුණිය රැඳී සිටි මේසය මත ඇය රැගෙන ආ අබෑගය, ජංගම දුරකථනය තිබී පොලිස් බාරයට ගැණින. අත් බෑගය පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබූ විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් ලිපිනය ඔස්සේ ඇය බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ තරුණියක බවට හඳුනාගත් ස්ථානාධිපතිවරයා එම ලිපිනය ඔස්සේ ඇයගේ නිවස සොයා ගොස් ඇය පිළිබඳ තොරතුරු මවගෙන් විමසා ඇත.



සිය දියණිය වසර 17 ක් තිස්සේ බණ්ඩාරගම ප්‍රදේශයේම තරුණයකු සමග පෙම් සබඳතාවක් පවත්වා මීට මාස කීපයකට ඉහත දී එය නවතා දැමූ බවත් ඉන් අනතුරුව එම පුද්ගලයාගෙන් බලපෑම් එල්ල වීමට වූයෙන් බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ ඥාති නිවසක නවාතැන් ලබා දීමට කටයුතු කළ බවත් මව පවසා තිබිණි.තරුණියගේ මවගේ ප්‍රකාශ අනුව තරුණිය හා පෙම් සබඳතාව පැවැත්වූ පුද්ගලයාගේ නිවස සොයා ගිය පොලිසියට එම නිවස වසා තිබෙන අයුරු දක්නට ලැබී ඇත.

තරුණිය පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථය බණ්ඩාරගම අඟුරුවාතොට මාර්ගයේ ලෙනවර උයන ප්‍රදේශයේ නිවසක තිබෙන බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය එම නිවස වටලා කළ පරීක්ෂාවේදී පැහැර ගැනීමට ලක් වූ තරුණිය සහ පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනා හා කාන්තාව පැය දෙකහමාරක පමණ කාලයකදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. පැහැර ගත් තරුණිය සැකකරු රඳවාගෙන තබාගෙන ඇත්තේද ඥාති නිවසක බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ