matara-mahinda-rajapaksa-vidyalaya

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සඟවා තිබු ගිනි අවියක්, පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද හමු වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම විද්‍යාලය ඇතුළු අවට භූමිය 2015 වසරේ දී දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් වෙන් කර තිබු අතර ඊට පැමිණෙන ප්‍රභූවරයකු ඉලක්ක කර ගෙන මෙම අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය ගෙනවිත් සගවා තැබුවේද ? එසේත් නොමැති නම් වෙනත් අපරාධයකට සැලසුම් කළේද ? යන්න ගැන දැන් සැකයක් මතුව තිබේ.

 සිවිලිම තුළ සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත බවට සැක කළ හැකි ගිනි අවියක්, ටී 56 වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කළ හැකි මිලි මීටර් 7.62 පතොරම් 20 ක්, මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 138 ක් , මිලි මීටර් 3.2 පතොරම් 31 ක්, ඩෙටනේටර් 02 ක්, ටී.එන්.ටී.යයි සැක කළ හැකි පුපුරණ ද්‍රව්‍ය ග්රෑම් 194 ක්,ඩෙට් කෝඩ් (සේවා නූල්) දිග සෙන්ටි මීටර් 115 ක් ඇතුළු තොගයක් පොලීසිය සොයාගෙන තිබේ.



මෙම කාමරය මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉදි කිරිම් සිදු කල අවස්ථාවේ දී එහි ඉදිකිරිම් සිදු කල
කොන්ත්‍රාත් සමාගමේ භාවිතය වෙනුවෙන් ප්‍රයෝජයට ගෙන තිබේ.

පසුව ඉදිකිරීම් අවසන් වී කොන්ත්‍රාත් සමාගම ඉවත් වන අවස්ථාවේ දී එහි වායු සමන යන්ත්‍ර ගලවා එම කාමරය ද කඩා ඉවත් කිරිමට සූදානම් වු අවස්ථාවේ එය පාසලේ කුමන කටයුත්තකට ප්‍රයෝජනයට
ගත හැකි නිසා ඉවත් නොකරන ලෙසට පාසල් බලධාරින් ඉල්ලීමක් කර තිබෙන බව කියති.

පසුව එය වසා දමා පාලුවට ගොස් තිබු අතර එම විද්‍යාලයට ආපන ශාලාවක් නොමැති නිසා එම
ස්ථානයේ බොජුන් හලක් ස්ථාපිත කිරීමට පාසලේ පාලන අධිකාරිය සැලසුම් කර තිබුණි.

ඒ අනුව අද (18) සේවකයින් දෙදෙනෙකු එම කාමරය පිරිසිදු කර අබලන් සිවිලිම ගලවන අවස්ථාවේ දී
ගිනි අවියක් හා පතොරම් කිහිපයක් බිමට වැටී තිබේ.

එම අවස්ථාවේ දී බියට පත්ව ඇති ඔවුන් වහා ඒ පිළිබඳව එහි විදුහල්පතිනිය දැනුවත්ව කර ඇත.

විදුහල්පතීනියගේ දැනුම් දීම අනුව ක්‍රියාත්මක වු මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී
හා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රුක්මන් කෝට්ටගේ යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් පාසල් වෙත
ගොස් අදාල කාමරයේ සිවිලිම ගලවා තව දුරටත් පරික්ෂා කිරිමේ දී එම අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය සොයා ගත්තේය.