ලෝකයේ නායකයින් රැසක් සහභාගී වන G20 සමුළුව අද නවදිල්ලියේදී ආරම්භ වෙයි.
මේ ගැන යහපත් වාර්තා මෙන්ම අයහපත් වාර්තාද එරට මාධ්‍ය පළ කර ඇත. ජාත්‍යන්තර අමුත්තන් ඉන්දියාවේ නොමඟ යවන යථාර්ථයක් දකිනු ඇතැයි එරට ඇතැම් මාධ්‍ය මගින් හාස්‍යජනක වාර්තා පළ කර ඇත. ඔවුන් සාම්ප්‍රදායික ගීත නැටුම්, තදබදයෙන් තොර මාර්ග, පදික වේදිකාවේ මල් පෝච්චි පේළි සහ පේළි දකිනු ඇතැයිද සුපිරිසිඳු ආහාර අනුභව කරනු ඇතැයිද වාර්තා කර තිබේ.

ඉන්දියානු කම්කරු පන්තිය ජීවත් වන මුඩුක්කු ඔවුන්ට දැකීමට සිදු නොවන පරිදි වෙන් කර ඇති අතර සියල්ල හරිත වැස්මකින් සැඟවී ඇතැයිද පැවසේ.

අගමැති මෝදිගේ පක්ෂය ඉදිරි මැතිවරණ ඉලක්ක කර සඳ තරණය, ජාත්‍යන්තර සමුළු ආදිය තුලින් අනවශ්‍ය ප්‍රචාරණයක් දියත් කර රටේ දුප්පත්කම සගවා ඇති බවටද දේශපාලකයින් පිරිසක් චෝදනා කර තිබේ.

මේ වෙනුවෙන් දස දහස් ගණනක් ආරක්ෂක නිලධාරීන් පැමිණ සිටීම නිසා ඊයේ 8 සිකුරාදා වෙළඳසල් වසා දැමීම, පාසල් වසා දැමීම සහ ගමනාගමනය සීමා කිරීමත් සමඟ නවදිල්ලියේ මධ්‍යම ව්‍යාපාර සහ රජයේ දිස්ත්‍රික්කය ඇණහිට තිබුණ බව රොයිටර් වාර්තාවක සඳහන් වේ.



ඉන්දියාවේ සත්කාරකත්වය දරන ඉහළම බලගතු ගෝලීය රැස්වීම සඳහා සිකුරාදා උදෑසන සිට පැමිණීමට නියමිත කණ්ඩායමේ නායකයින් නිසා  බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් වසා දැමීම් ගැන රජය නිවේදනය කර තිබුණි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් සහ ජපානයේ ෆුමියෝ කිෂිඩා ඇතුළු තවත් අය ඊට සහභාගී වන බව ඉහළ වටිනාකම් ලබාදෙමින් මාධ්‍ය මගින් විස්තර කර තිබුණි.

සිකුරාදා, සාමාන්‍යයෙන් කාර්යබහුල  නගරයේ කේන්ද්‍රය පාළුවට ගොස් තිබූ අතර, ප්‍රධාන වීදි දිගේ වාහන සහ සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් විශාල සංඛ්‍යාවක් දක්නට ලැබුණු බව රොයිටර්  පැවසීය.



නගර බලධාරීන් ද මුඩුක්කු කඩා සමුළුව පැවැත්වෙන ස්ථානය අසලින් සගවා ඇති අතර අයාලේ යන සුනඛයන් ප්‍රදේශයෙන් ඉවත් කර ඇත.

අගනුවර කොනට් ප්ලේස් යටත් විජිත යුගයේ සාප්පු සවාරි දිස්ත්‍රික්කයේ මෙන්ම ජනප්‍රිය ඛාන් වෙළඳපොළේ වෙළඳසැල් සහ අවන්හල් දින තුනක් තිස්සේ වසා දැමීම හේතුවෙන් තමන්ට ඉන්දීය රුපියල් බිලියන 4ක්පමණ පාඩුවක් සිදුවන බව වෙළෙඳසල් හිමියන් ප්‍රාදේශීය පුවත්පත්වලට පවසා තිබුණි.

පසුගිය සතියේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිල්ලියේ වැසියන්ගෙන් ඉල්ලා සිටියේ සමුළුව සීමා කිරීම් හේතුවෙන් ඇති විය හැකි අපහසුතාවයන් දරා ගන්නා ලෙසයි.

"මුළු රටම සත්කාරක රටක් වන අතර, G20 සමුළුව සඳහා දිල්ලිය උපරිම වගකීම දරයි"

"ලෝකය පුරා බොහෝ අමුත්තන් පැමිණෙන විට, එය යම් අපහසුතාවයක් ඇති කරයි ... මම දිල්ලි පුරවැසියන්ගෙන් ඔවුන් මුහුණ දීමට යන ගැටලුවට සමාව අයදිමි." මෝදි පැවසීය.