A-person-who-supplied-motorcycles-to-underworld-criminals-was-arrested

සංවිධානාත්මක අපරාධකරුවන්ට පුද්ගල ඝාතන සඳහා සොරාගත් යතුරු පැදි සපයන පුද්ගලයකු මෝදර බෝලවිස්ටා වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී විවිධ අපරාධ වලට යෙදවූ බව කියන යතුරු පැදි 3ක් සහ එහි ලිපි ලේඛන පොලිස් භාරයට ගෙන ඇත.


ඉකුත් ජුලි මස 14 වෙනි දින අවිස්සාවේල්ල ගලපිටමඩ ප්‍රදේශයේදී පුද්ගලයකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වෙඩික්කරුවන් සඳහා යතුරු පැදිය ලබා දී තිබුණේ මෙම සැකකරු බව අනාවරණය වූ බව පොලිසිය කියයි.
එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන සැකකරුවන් දෙදෙනාගෙන් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව සැකකරු පදිංචි නිවස පරීක්ෂා කිරිමේදී නිවස තුළ තිබි මෙම යතුරුපැදි සොයාගත් බව පොලිසිය කියයි.

සොයාගත් එම යතුරුපැදි සිදුව, මැල්සිරිපුර හා යාපනය ප්‍රදේශවලින් සොරා ගත් ඒවා බවත් ඒවාට ව්‍යාජ ලිප ලේඛන සකසා අපරාධ සඳහා යොදවා ඇති බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.



විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ජාවාරම්කරුවන් ලබා දෙන දුරකතන ඇමතුම් අනුව එම යතුරුපැදි කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල සිදු වූ පුද්ගල ඝාතන සඳහා ලබා දෙන්නට ඇති බවට බොහෝ දුරට සැකකරන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම, ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදි සන්තකයේ තබාගැනීම හා අංක තහඩු සහිත යතුරු පැදි තවත් පුද්ගලයන්ට ලබා දීම යන චෝදනා යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඇන්සලම් ද සිල්වා මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දුමින්ද ජයතිලක, උප පොලිස් පරික්ෂක චතුරංග බණ්ඩාර හා ෆොන්සේකා මහත්වරු පරික්ෂණ පවත්වති.