
රැඳවුම් නියෝග මත මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී විශේෂ කාර්ය බළකායේ උපපොලිස් පරීක්ෂකවරයකුගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලායාමට උත්සාහ කළ බව කියන සිද්ධියෙන් අනතුරුව හරක් කටාගේ ආරක්ෂාව තරකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.විශේෂ කාර්ය බළකායේ දහදෙනෙකුට ආසන්න කණ්ඩායමක් ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
ඉකුත් 10 වැනිදා පස්වරුවේ හරක් කටා එහි ආරක්ෂාවට යොදා සිටි විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරික්ෂවරයකුගේ ගිනි අවියක් උදුරාගෙන පලායෑමට උත්සාහ කළ බව කියන සිද්ධියෙන් පසු ඔහුගේ ආරක්ෂාව තරකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය වීමට පෙර හරක් කටා වැසිකිළිය වෙත රැගෙන ගොස් මාංචු යුගල අගුලු නොදමා ඔහු පිටතට ගෙන ආ බවට කියන පොලිස් කොස්තාපල් රවිඳු සංදීප ගුණසේකර (97402) නමැත්තා සම්බන්ධයෙන් මේ දක්වාම කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
මෑත කාලයේ මෙම කොස්තාපල් අත විශාල වශයෙන් මුදල් ගැවසී ඇති බවත්, ඔහු අවස්ථා රැසක දී රාත්‍රී සමාජ ශාලා වෙත ද ගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.හරක් කටාගෙන් මොහුට කල්තියාම යහමින් මුදල් ලැබීම නිසා ඔහු මෙලෙස රාත්‍රී සමාජ ශාලා වෙත ගොස් විනෝද වී ඇති බවද පැවසේ.සිද්ධියවූ දින සැකකාර කොස්තාපල් හරක් කටා වැසිකිළියේ සිට මාංචු ලිහිල් කර රැගෙන ආ පසු සැකකාර කොස්තාපල් එම ස්ථානයෙන් පැනගොස් ඔහු අයත් මහජන පැමිණිලි විමර්ශන ඒකකය වෙත පැමිණ වෙනත් කොස්තාපල්වරයකුගේ ජංගම දුරකතනය රැගෙන පලාගොස් තිබූ අතර, ඔහු සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවද වාර්තා වේ.
එම කොස්තාපල් රැගෙන යෑමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ආසන්නයේ සැකකටයුතු යතුරුපැදියක් නවතා තිබී ඇති අතර, ඔහු එහි නැගී පලා යන්නට ඇති බවට පොලිසිය සැකකරයි.එයට සම්බන්ධ ඉහත මෙම සිද්ධියේ සියලු රහස් හා නිලධාරීන් සම්බන්ධ සියලු රහස් කොස්තාපල්වරයා දන්නා බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් රැසක් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ නම් මෙම සිද්ධිය කාගේ දැනුම්දීම මත සිදු කළේය ද මෙයට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් පිරිසක් සම්බන්ධ ද යන්න හෙළි කර ගත හැකි බවද එම ආරංචි මාර්ග කියයි.
නිල නොලත් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ හරක් කටා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින කාලය තුළ ඇතැම් පොලිස් නිලධාරීන්ට මුදලින් උපකාර කර ඇති බවත් එක් නිලධාරියකුගේ අවමඟුල් උත්සවයක් වෙනුවෙන් විශාල මුදලක් ලබා දී ඇති බවත්, එහි පොලිස් කොස්තාපල්වරියක ද හරක් කටාගෙන් මුදල් ලබාගෙන ඔහුට සහාය දක්වා ඇති බවයි. විමර්ශන නිලධාරීන් මෙම කරුණු ඔස්සේ විමර්ශන කරන්නේ නම් හරක් කටාට උපකාර කළ පිරිස කවුද යන්න නිශ්චිත වශයෙන් හෙළි කර ගත හැකි බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉන්දිකා රාමනායක
Comments
Post a Comment
Your comment will be visible after approval