epf-bus

බස් රථ සේවකයන්ට අර්ථ සාධක අරමුදලේ දායකත්වය ලබාදීමට නොහැකි වී තිබෙන්නේ කොමිස් මුදල් හා දෛනික වැටුපට පමණක් සේවය කිරීමට අතිබහුතරයක් පිරිස කැමැත්ත දැක්වීම නිසා බව ඒකාබද්ධ ප්‍රවාහන සේවක මධ්‍යස්ථානය සඳහන් කරයි.

මීට අමතරව බොහෝ සේවකයන් එකම ස්ථානයේ දීර්ඝ කාලයක් සේවය නොකරන බවත් සමහර සේවකයන් එක් බස් රථයක සේවය කරනු ලබන්නේ මාසයකට දින කිහිපයක් බවත් පසුව වෙනත් බස් රථයක සේවයට යන බවද එම සංගමයේ ලේකම් සම්පත් රණසිංහ මහතා සඳහන් කළේය.



දෛනික කොමිස් මුදල්වලට හා දෛනික වැටුපට සේවය කරන කොන්දොස්තරවරයෙකුගේ දෛනික ආදායම රුපියල් තුන්දහසත් පන්දහසත් අතර මුදලක් බවත් රියැදුරු මහතෙකුගේ ආදායම රුපියල් හාරදහසත් හයදහසත් අතර මුදලක් බවද පවසා සිටියේය.

මීට අමතරව දෛනිකව බස් රථ බදු ලබාගෙන ධාවනය කර ආදායම් උපයා ගන්නා සේවකයන් පවා සිටින බවත් මෙම පිරිස්වල ආදායම විශාල අගයක් ගන්නා බවත් බස් රථ සේවකයන්ට අර්ථසාධක අරමුදලට දායක කර ගැනීමට බස් හිමියන් කැමති බවද සඳහන් කළේය.



අදාළ කටයුත්ත සිදුකිරීමට නම් පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ඇති කර බස් රථ සේවකයන්ට මාසික වැටුපක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කළහොත් බස් රථ සේවකයන්ට විධිමත් පත්වීම් ලිපියක් ලබා දී බස් හිමියන්ට අදාළ කටයුතු කළ හැකි බවද පවසා සිටියේය. අර්ථසාධක අරමුදලේ දායකත්වය ලබා දීමෙදී

බස් රථ සේවකයන්ගෙන් යම් මුදලක් අයකර ගත යුතු බවත් දැනට පවතින තත්ත්වය තුළ අතිබහුතරයක් සේවකයන් එවැනි ක්‍රියාවලට කැමැත්තක් නොදක්වන බවද සඳහන් කළේය.

-  ඉන්දික හේවාවිතාරණ