ganemulla-sanjeewa-speaks

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් පෙරේදා (13 වැනිදා) ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණි. එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නම විදෙස් ගමන් බලපත්‍රයේ සටහන්ව තිබුණේ සේනාධීර කරුණාරත්න ලෙසය.

ආගමන විගමන නිලධාරීන් තිදෙනෙකු කත්මන්ඩු සිට පැමිණි ගුවන් යානයේ මගීන්ගේ ගුවන් ගමන් බලපත්‍ර පරීක්ෂා කරන්නට වූහ. මේ අතර සිටි සේනාධීර කරුණාරත්න නමැති මගියාගේ ගුවන් ගමන් බලපත්‍රයේ රටින් පිටවීමේ මුද්‍රාව ව්‍යාජ එකකැයි ආගමන විගමන නිලධාරීන්ට සැනකින් වැටහුණි . මේ අනුව ඔව්හු මෙම මගියාගෙන් ප්‍රශ්න කරන්නට වූහ. සම්පූර්ණ නම,ජාතික හැදුනුම්පත් අංකය, ලිපිනය, සහ උපන් දිනය ඇතුළු තොරතුරු විමසුවත් ඒ ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබාදීමට ඔහුට හැකි වූයේ නැත. තමන් මැලේසියාව හා වියට්නාමය යන රටවල සේවය කළ අයෙකු බවද ඔහු පවසා තිබිණි.



කෙසේ වෙතත් ආගමන විගමන දෙපාර්තුමේන්තු පද්ධතියට පිවිස මෙම ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී එය සේනාධීර කරුණාරත්න නමැත්තකුගේ නොව වැල්ලම්පිටියේ කාන්තාවකගේ නමින් නිකුත් වූවක් බව හෙලිවී ඇත.තව දුරටත් බොරු කීමෙන් ඵලක් නොවන බව සංජීව ඒ වන විටත් වටහා ගෙන තිබිණ.

සර් මම තමයි ගණේමුල්ලේ සංජීව කියන්නේ. හංගන්න දෙයක් නැහැ. මට මේ රටේ ප්‍රශ්න හින්ද තමයි දේශපාලන සපෝට් එකත් අරන් මම රට පැන්නේ. මේක හොර පාස්පෝට් එකක්.

එම හෙළිදරව්වෙන් පසු ආගමන විගමන නිලධාරීන් පොලිසිය හා ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය දැනුම්වත් කර ගණේමුල්ලේ සංජීව නැමැත්තා වැඩිදුර විමර්ශන සෙඳහා පොලිසියට බාර කර තිබුණි.

ගුවන්තොටුපොළෙහි ස්ථාපිත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු ශාඛාවේ හා රාජ්‍ය බුද්ධි සේවා ඒකකයේ නිලධාරීන්ද වැඩිදුර විමර්ශන සඳහා කැඳවීමට මෙහිදී පියවර ගැනිණ.

ආරක්ෂක අංශ විසින් සැකකරුගේගේ පසුම්බියේ තිබූ ජාතික හැදුනුම්පත පරීක්ෂා කිරිමේදී මොහු සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව බවට තහවුරු විය. ඒ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක්ම කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේ සැකකරු තම විමර්ශන රැසකටම අවැසි බව සඳහන් කරමිනි. කෙසේ වෙතත් පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම අපරාධකරු පෙරේදා (13 වැනිදා) රාත්‍රියේ භාර කරනු ලැබුවේ පෑලියගොඩ පිහිටි බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙතය. මොහුගෙන් මේ වනවිටත් ප්‍රශ්න කිරීම් සිදුවන අතර මොහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් හය දෙනෙකු ඊයේ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබුණි.



ගණේමුල්ලේ සංජීව මෙරට සිට මුහුදු මගින් ඉන්දියාවට පැනගොස් තවත් අපරාධකරුවන් කිහිප දෙනෙකු සමගින් වාසය කර තිබුණේ බැංගලෝරයේය. ඉන්දීය හා නේපාල දේශසීමාව ආසන්නයේදී මොහු ඇතුළු සිව් දෙනෙකු නේපාල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අගොස්තු මාසයේදීය. ඒ වීසා නොමැතිව රැඳී සිටීම නිසාය.එහිදී ඔවුන් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම නිසා සංජීව කත්මන්ඩු සිට ගුවන් මගින් දෝහා කටාර් රාජ්‍ය වෙත ගමන් කළේය. නමුත් ගුවන් ගමන් බලපත්‍රයේ මුද්‍රාව ස්කෑන් නොවීම නිසා දෝහා ගුවන් තොටුපළෙන් ඔහු රටට ඇතුළු කරගෙන නොතිබිණි. මේ අනුව යළිත් කත්මන්ඩු වෙත පැමිණි සංජීව මෙරටට පැමිණ තිබුණේ ආගමන විගමන නිලධාරීන්ට හසුවුනොත් මුදලක් යටකර හෝ බේරීමේ අරමුණ ඇතිවය.

කෙසේ නමුත් නේපාලයට හසුවූ අවස්ථාවේදී එරට තුළ ඔහු රඳවා නොගැනීමට නේපාල ආරක්ෂක අංශ කටයුතු කර තිබුණි. තමාට ශ්‍රීලංකාව තුළ ආරක්ෂාවක් නැතැයි පවසා ඇතත් ඔවුන් සිදුකර තිබුණේ කත්මන්ඩු සිට රටින් පිටව යාමට සහාය වීම පමණි.

ගණේමුල්ලේ සංජීව යනු මෙරට සිදුවූ අපරාධ සිය ගණනක වගඋත්තරකරුවෙකි. පසුගිය කාලයේ රට පුරා සිදුවූ පාතාලයේ මනුෂ්‍ය ඝාතන රැසක්ම මෙහෙයවා තිබුණේ මොහු විසිනි. මොහු ඒ සියලු අපරාධ මෙහෙයවනු ලැබුවේ මුහුදු මගින් ඉන්දියාවට පැනගොස් බැංගලෝරයේ සැඟව සිටියෙදීය.

සංජීව ගම්පහ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු උසස් පෙළ විභාගයද හොඳින් සමත් වූ අයෙකි. නමුත් අධ්‍යාපනයට තිත තබමින් මොහු පාතාලය තෝරා ගත්තේ යහමින් මුදල් සෙවීමේ අරමුණ ඇතිවය. වේයන්ගොඩ නයිවල හංදිය අසළ කාය වර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මොහු එහිම නැවතී සිටියේය. මේ කාලයේදී මොහු හා සමීප වූ තරුණයින් අට දෙනෙකුද සම්බන්ධ කරගනිමින් බිස්කට් වෑන් රථයක් කොල්ල කෑ මොහු එම සිද්ධියට වරදකරු වීමෙන් පසු බන්ධනාගාරගත කෙරිණ. එය රට හෙල්ලූ අපරාධ ගොන්නක ආරම්භය විය.

සංජීවගේ නම පාතාලයත් සමග ඈඳී ප්‍රසිද්ධියට පත්වූයේ ගම්පහ ප්‍රදේශයේ බැංකු මංකොල්ලයත් සමගිනි. මෙම කොල්ලය මෙරට සිදුවූ විශාලම බැංකු මංකොල්ලයද විය.

එය සිදුවූයේ 2009 වසරේදීය.

සංජීව ඊළඟට එක්වූයේ ගම්පහ පස් ජාවාරමටය. ගම්පහ පස් ජාවාරමේ කිරුළු පැළදූ සමන් රෝහිත පෙරේරා හෙවත් පස් පොඩ්ඩා සමගින් එක්වූ මොහු පස් පොඩ්ඩාගේ ප්‍රතිවාදී පස් ජාවාරම්කරුවන් මෙල්ල කිරීමට සිය පාතාල බලය උපයෝගී කරගත්තේය. පස් පොඩ්ඩාගේ ප්‍රභලම ප්‍රතිවාදියා වූ හිනටියන අසිත ඝාතනය සිදුවන්නේද එහි ප්‍රතිඵලයක් ලෙසිනි.



සංජීවගේ දකුණු අත මෙන් සිටියේ අජිත් කුමාර නොහොත් කළු අජිත් ය. අජා යන යන නමින් හැදින්වූ ඔහු හිටපු යුද හමුදා සාමාජිකයෙකුද විය. තම ප්‍රතිවාදීන් වෙඩි තබා ඝාතනය කිරීමේ ඉලක්කය හොඳින්ම හඳුනාගත් වෙඩික්කරුද අජා ය. පස්පොඩ්ඩාගේ උවමනාව මත ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමේ වගකීමද සංජීව පවරා තිබුණේ අජාටය. නමුත් ඒ ඉලක්කය අජා අතින් ගිලිහීගොස් තිබුණි.මේ අතර කිසියම් කොන්ත්‍රාතුවක් වෙනුවෙන් සංජීව, අජාට මුදල් ලබා නොදීම නිසා ඔවුන් අතරේ පැවති මිතුදම බිඳී ගියේය. මේ විරසකය නිසා අජා, පස් පොඩ්ඩා සමගින්ද පැටලෙන්නට වූ අතර කලක් තම හොඳම මිතුරා වූ අජා ඝාතනය කරවීමට සංජීව පියවර ගත්තේ තමාට ඇති ලොකුම හිසරදයෙන් මිදීමේ අටියෙනි

මේ අනුව පාතාලයේ නමගිය චරිතයක් බවට පත්වූ සංජීව අපරාධ ගණනාවකම මහ මොළකරුවා විය . කළු තුෂාර නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රතිවාදීන් ඔහු ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ බිරිඳ හා විවාහ වූ සංජීව 2017 වසරේ ඉන්දියාවට පැනගියේ බෝට්ටු මගිනි. ඉන්දියාවේ බැංගලෝරයේ සිට සිය ගෝලයින් මෙහෙයවා කප්පම් ගැනීම්, මිනීමැරීම් සිදුකළ මොහු විසින් පසුගිය කාලය පුරා සිදු කළ අපරාධ එමටය. කළු තුෂාර ඝාතනයට සම්බන්ධ තුන් හතර දෙනෙකු වෙඩි තබා ඝාතනය කරන්නට සංජීව පියවර ගෙන තිබුණේ බිරිඳගේ උසිගැන්වීම මතය.

හිටපු එල්.ටී.ටී.ටී,ඊ සාමාජිකයින්, පැනගිය හමුදා සාමාජිකයින් ඇතුළු අපරාධකරුවන් මෙහෙයවා පසුගිය කාලය පුරා සංජීව විසින් සිදුකරවූ ඝාතන මෙන්ම ඉදිරි ඝාතන සැලසුම් ඇතුළු අපරාධ රැසකම කරුණු අනාවරණය කරගැනීමට විමර්ශකයන් මේවන විට සමත්ව තිබේ.


එෆ්.අස්ලම්