මව හැර දා ගිය දහතුන් හැවිරිදි පාසල් සිසුවියක අපයෝජනයට ලක් කළ බව පැවසෙන ඇගේ පියාගේ බාල සොහොයුරා අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි.
මත්තේගොඩ කුඩමාදූව ප්‍රදේශයේ පදිංචි (45) හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

මත්තේගොඩ කුඩමාදුව ප්‍රදේශයේ වියපත් කාන්තාවකට අයත් නිවසක ඇයගේ පුතුන් තිදෙනකු හා එක් පුතෙකුගේ 13 හැවිරිදි දියණියක් වාසය කොට ඇති අතර අදාළ සිසුවියගේ මව පවුල් ආරවුලක් හේතුවෙන් මීට වසරකට පමණ පෙර විදේශගතව ඇති බව ද පැවසේ.

මේ හේතුවෙන් දහතුන් හැවිරිදි පාසල් සිසුවිය ඇගේ බාප්පා විසින් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කර ඇති බවට අනාවරණය වී තිබේ.



මේ හේතුවෙන් සිසුවිය පාසල් අධ්‍යාපන කටයුතුවලට මැළිකමක් දැක්වීම හේතුවෙන් දිනක් ඒ පිළිබඳ පන්ති භාර ගුරුතුමිය දැරියගෙන් විමසීමේ දී සිද්ධිය පිළිබඳ ගුරුතුමියට පවසා ඇත. අනතුරුව සිද්ධිය පිළිබඳ විදුහල්පතිවරයා දැනුවත් කොට මත්තේගොඩ පොලීසියේ කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔහුගෙන් සිදු කල ප්‍රශ්න කිරීමේදී මාස එකොළහක් තිස්සෙ විටින් විට සිසුවිය අපයෝජනයට ලක් කර ඇති බව සැකකරු පාපොච්ඡාරණය කර තිබේ.

මේ අතරතුරදී සිසුවියගේ නිවසට යාබදව පිහිටි කර්මාන්තශාලාවක ආරක්ෂක නියාමක වරයෙකුට ඇගේ මිත්තණිය ආහාර අලෙවි කරන අතර ඒ සඳහා පැමිණි අවස්ථාවකදී බාප්පා ඇය අපයෝජනය ට ලක් කරන අයුරු දැක පසුව දැරියව රවටා ආරක්ෂක නියාමකවරයා ද සිසුවිය අපයෝජනයට ලක් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය කියයි.



මේ වනවිට දැරියගේ බාප්පා අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රදේශයෙන් පලා ගොස් ඇති වත්තල ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.

අදාළ සිසුවිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මත්තේගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

  මත්තේගොඩ ශාන්න ප්‍රදීප් කුමාර කුලරත්න