mirihana-police-si-arrested

මිරිහාන මූලස්ථාන පොලිසියේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ පැමිණිලිකරුවකුට අයත් රන් භාණ්ඩ සොරාගෙන ගොස් නුගේගොඩ හා මහරගම ප්‍රදේශවල උකස් මධ්‍යස්ථානවලට උකස්කර, මුදල් ලබාගත් බව කියන උප පොලිස් පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.සැකකරු ඉකුත් මස 20 වැනිදා සිට

සේවයට වාර්තා කර නොමැති අතර, ඔහු අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව මිරිහාන මූලස්ථාන පොලිසියේ කණ්ඩායමක් පෙරේදා (16) එහි ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු මිරිහාන පොලිසියේ නඩු භාණ්ඩ කාමරය භාරව කටයුතු කළ නිලධාරියා බව පොලිසිය සඳහන් කරයි.



වැටලීමට අදාළව පොලිසිය භාරයට ගෙන තිබූ පැමිණිලිකරුට අයත් රන් භාණ්ඩ නඩු භාණ්ඩ ගබඩාවේ තැන්පත් කර තිබී ඇති අතර, එලෙස තබා ඇති රන් භාණ්ඩ පැමිණිලිකරුට මුදා හරින ලෙසට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා පසුගිය ජූලි මස 31 වැනිදා නියෝගයක් නිකුත් කර ඇති බව ද පොලිසිය පවසයි. පැමිණිලිකරු අධිකරණ නියෝග අනුව, නඩු භාණ්ඩ වශයෙන් තිබූ ඔහුගේ රන් භාණ්ඩ ලබාගැනීමට මිරිහාන පොලිසියට අවස්ථා කිහිපයක දී පැමිණිය ද සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා ඔහු මගහරිමින් සිට ඇත. ඒ අතර කාලයේ සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා නිවාඩු ලබාගොස් ඇති අතර, ඉකුත් 20 වැනිදා සිට ඔහු සේවයට වාර්තා කර නොමැති බව ද පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් පැමිණිලිකරු මිරිහාන මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, විමර්ශන ආරම්භ කර ඇති අතර,

සැකකරු එම රන් භාණ්ඩ මහරගම හා නුගේගොඩ උකස් මධ්‍යස්ථාන වලට උකස් කර මුදල් ලබාගෙන ඇති බවට එහිදී තොරතුරු හෙළි කරගෙන ඇත.පොලිස් සේවය හැරගොස් සැඟව සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔහුගේ ගම් ප්‍රදේශයට අවස්ථා කිහිපයකදීම ගොස් තිබුණ ද, සැකකරු එහි සිට නොමැත. සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව පොලිසිය එහි ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මංජුල තුෂාර මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වේ.
ඉන්දිකා රාමනායක