Sugathadasedi-was-the-4th-in-the-swimming-competition-but-the-mother-scolded-the-runaway-child

 සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රීඩා තරගයකින් අනතුරුව අතුරුදන් වූ 12 හැවිරිදි දරුවා පැයක් තුළ දී සොයා ගෙන මවට භාර දුන් බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කරයි.
පිහිනුම් තරගයට සහභාගි වූ තම පුතු සුගතදාස ක්‍රීඩාංගණය අසල දී එකවරම අතුරුදන් වූ බව මට්ටක්කුලිය ප්‍රදේශයේ කාන්තාවක් කරන ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. හැරිසන් මහතා පොලිස් කණ්ඩායම් තුනක් පත් කර යුහුසුලුව දරුවා සොයා බැලීමට කටයුතු කර තිබිණි.



එයින් එක් කණ්ඩායමක් ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කර විමර්ශන කඩිනම් කළ ස්ථානාධිපතිවරයා ඔහු ද සෘජුවම මැදිහත් ව දරුවා සෙවීමේ නිරත වී තිබිණි.



මේ අතර අතුරුදන් වූ බව කියන දරුවා රාත්‍රී 10.00 පමණ කොළඹ ලෝක වෙළෙද පොළ මධ්‍යස්ථානය අසළ සිට ත්‍රිරෝද රථ රියැදුරකුගේ ජංගම දුරකථනයකින් සිය මවට දුරකථන ඇමතුමක් ලබාදී තිබූ බව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනගැනීමට ලැබීමත් සමගම කොටුව පොලීසියට ඒ බව දන්වා පොලිස් නිලධාරියකු එම රථ ගාල අසලට යවා දරුවා පොලිස් භාරයට ගෙන ග්‍රෑන්ඩ්පාස් පොලීසියට රැගෙන ඒමට කටයුතු කර තිබිණි.



අනතුරුව දරුවාගෙන් තොරතුරු විමසීමේ දී නාදුනත පුද්ගලයෙකු තමන්ව වෑන් රථයක බලෙන් නංවාගෙන රැගෙන ගිය බව පැවැසූ බවත් පොලීසිය සදහන් කරයි.

එම තොරතුරු සටහන් කර ගෙන සිදු කළ විමර්ශනවලදී ඔහු පැවසූ තොරතුරු අසත්‍ය බව විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව නැවත නැවත ප්‍රශ්න කිරීමේදී දරුවා පවසන තොරතුරු අසත්‍ය බවට අනාවරණය වූ අතර දරුවාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී පිහිනුම් තරගයේදී තමන් සිව්වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් මව තදබල අයුරින් දොස් නැගූ බවත් ඒ හේතුවෙන් ඇතිවූ සිත් තැවුල හේතුවෙන් තමන් නැවත නිවසට නොඑන අදහසින් ඇවිදගෙන ගිය බවත් දරුවාගේ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවත් පොලීසිය පවසයි.

 බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ