ali-sabri-rahim-fraud

පුත්තලම දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් දේශපාලනඥයන් බලහත්කාරයෙන් අල්ලාගෙන විවිධ ව්‍යාපෘති සිදු කරන බවත් ඒවාට ගෙවිය යුතු බදු පවා නොගෙවන බවත් පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න මහතා පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී පෙරේදා (13) ප්‍රකාශ කළේය.මෙම රැස්වීම වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඩම්වලින් අයවිය යුතු රුපියල් දස කෝටි දෙලක්ෂ බදු මුදලක් තවමත් අය වී නැති බව වයඹ පළාත් ඉඩම් කොමසාරිස් මාරි ප්‍රනාන්දු මහත්මිය එහි දී ප්‍රකාශ කළාය.එහි දී සම්බන්ධිකරණ කමිටු සභාපති මන්ත්‍රී චින්තක අමල් මායා දුන්න මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රජයේ ඉඩම් අක්කර 217 ක් අල්ලාගෙන ඇති බවත් ඊට අයවිය යුතු බදු මුදල් නිසි ලෙස ගෙවා නැති බවත්ය.

එහි දී කමිටු සභාපති මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇති අතර ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මැදිහත්ව එය සමථයකට පත්කර ඇත.

කරඹ අම්මාතෝට්ටම් ප්‍රදේශයේ පිහිටි මෙම අක්කර 217කට ආසන්න ඉඩමෙන් මේ වනවිට රජයට බදු අහිමි වී ඇති බව සභාපතිවරයා කීය. එය අය කිරීම සිදු නොවන්නේ නම් බදු හිමිකරුට අදාළ කාලය අවසන් වී ඇති නිසා වෙනත් අයකුට ඉඩම ලබා දීමට කටයුතු කරනු ඇතැයි ද සභාපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. දේශපාලනඥයන්ට රටේ වෙනම නීතියක් නැතැයි ද ඔහු කීවේය.

ඒ අවස්ථාවේ අසුනෙන් නැගිට සිටි මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතා එම ඉඩම තමාගේ බවත් ඉඩම සංවර්ධනය කරන්න තමා බවත් ප්‍රකාශ කළේය. ඒක පරණ ඉඩමක් මම බදු ගෙවලා තියෙන්නේ යැයි ඔහු කීය.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නිලංග නන්දසේන මහතා කරුණු පැහැදිලි කරමින් ගැටලු සහගත ඉඩමේ මේ වන විට අක්කර 108ක ලුණු කර්මාන්තය සිදු කරන අතර ඒ සඳහා ලක්ෂ 98කට ආසන්න බදු අය කරගෙන ඇති බව දැනුම් දුන්නේය. ඉතිරි අක්කර 109 ට මේ වනවිට බදු ගෙවා නොමැති බවද ඔහු කීවේය.ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අදහස් දක්වමින් මෙම විෂය පථය පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙස පළාත් ඉඩම් කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.රුපියල් කෝටි අටක් පමණ වටිනා රත්රන් සහ ජංගම දුරකතන ඩුබායි සිට නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩයක් පසුගියදා නියම කෙරිණි.

හිරාන් ප්‍රියංකර ජයසිංහ