al-best-results-holders-2022
මෙවර උසස් පෙළ විභාගයේ ඒ ඒ විෂයන්ගෙන් ප්‍රථම තැන් දිනාගත් සිසු සිසුවියන් පිළිබඳ වැඩි විස්තර මේ සමග පළවේ.

ගණිත මුල්තැන කොළඹ රාජකීය විදුහලේ මානෙන් බානුල


මෙවර අ.පො.ස. උසස් පෙළ භෞතිය විද්‍යා (ගණිත) විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ ජී. මානෙත් බානුල ශිෂ්‍යයාය.
බණ්ඩාරගම රඹුක්කන බණ්ඩාරනායක මාවතේ පදිංචි, සිවිල් ඉංජිනේරුවරයකු වූ සිසිර කුමාර පෙරේරා හා පානදුර කේතුමතී කාන්තා රෝහලේ වෛද්‍යවරියක සුධම්මා ලෙනෝරා මහත්ම මහත්මින්ගේ කනිටු පුතු වූ මානෙත් බානුල, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන යසිත් රන්දිල පෙරේරාගේ එකම සහෝදරයාය.
මානෙත් බානුල පානදුර ශාන්ත ජෝන් ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා, 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත්ව, වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.
“උසස් පෙළට පැමිණීමත් සමගම කොවිඩ් වසංගතය ආවා. ඔන්ලයින් මාර්ගයෙන් තමයි ඉගෙන ගත්තේ. ලබපු ජයග්‍රහණය පිළිබද සිතට ලොකු සතුටක් දැනෙනවා. එක්කෝ ගණිතය හදාරනවා, එක්කෝ ඉංජිනේරු පීඨයට යනවා. කොහොම හරි ක්ෂේත්‍රයෙන් ඉහළට ගිහිල්ලා ලෝකෙට වැඩදායි පුද්ගලයකු වෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව." යැයි ඔහු කීය.

මානෙත් බානුල සිසුවා 2014 වසරේ සිට 2022 වසර දක්වා ඉන්දුනීසියාව, චීනය, තායිලන්තය, බ්‍රසීලය, ඉන්දියාව, රුමේනියාව, දකුණු අප්‍රිකාව, රුසියාව හා ශ්‍රී ලංකාව යන රටවල පැවැත්වූ අන්තර්ජාතික විද්‍යා හා ගණිත ඔලිම්පියා තරගාවලි සඳහා සහභාගි වී, රන්, රිදී, ලෝකඩ පදක්කම් සහ සහතිකපත් විශාල ප්‍රමාණයක් හිමි කර ගැනීමට සමත් වී ඇත.

මානෙත් බානුල සිසුවා සිය ජයග්‍රහණය පිළිබඳව මෙසේ ද පැවැසීය.

“ප්‍රතිඵල ආවාට පස්සෙ මම ඇත්තටම පුදුම වුණා. මම රෑන්ක් එකක් බලාගෙන නෙමෙයි විභාගයට මුහුණ දුන්නේ. පුළුවන් තරම් උපරිමයෙන් විභාගෙට ලියනවා කියලා තමයි විභාගෙට ගියේ. අධ්‍යාපනයට එන බාධාවලට හැඩගැහිලා සියලුම දේවල් පිළිවෙළට කරගෙන ගියා. ඒ දවස්වල නිසි අයුරින් පාසලට යන්න බැරි වුණත් ගුරුවරුන් සමග නිසි අයුරින් සබඳතා පවත්වාගෙන යමින් ඒ ගොල්ලන්ගෙන් උදව් උපදෙස් අරගෙන අධ්‍යාපනයට මනා පිටිවහලක් ලබා ගත්තා. ඒ සියලු දෙනාටත් මේ අවස්ථාවේ ඉතා ආදරයෙන් ස්තුතිය පළ කරනවා.
ඒ වගේම මගේ යාළුවෝ අපි සියලුම දෙනාම අධ්‍යාපනයට අවශ්‍ය දැනුම හුවමාරු කරගත්තා. ඔවුනුත් අවස්ථාවේදී හදවතින්ම මතක් කරනවා."

මානෙත් බානුල සිසුවාගේ මව වන, වෛද්‍යාචාර්ය සුධම්මා ලෙනෝරා මහත්මිය මෙසේ පැවැසුවාය.

“ මානෙත් මගේ දෙවැනි පුතා. එයා පොඩි කාලේ ඉඳන්ම විවිධ ක්ෂේත්‍රවලට දක්ෂතා දක්වපු දරුවෙක්. ඉගෙනීමේ කටයුතුවලට අමතරව ප්‍රාථමික පාසලේ ශිෂ්‍ය නායකයෙක් ලෙසත් කටයුතු කළා. ඊට අමතරව විවිධ ක්‍රීඩා සමාජවලට බැඳී ගුරුවරුන් සමග නිරන්තර සබඳතා තමයි අධ්‍යාපනය අතින් මෙවැනි ජයග්‍රහණයක් ලබා ගත්තේ. පුතා ලබපු ජයග්‍රහණය පිළිබඳ මට ඇත්තටම ගොඩක් සතුටුයි."
මානෙත් බානුල සිසුවාගේ පියා වන, සිවිල් සිවිල් ඉංජිනේරුවරයකු වූ සිසිර කුමාර පෙරේරා මහතා මෙසේ පැවැසීය.

“ඇත්තටම මගේ හිතේ බලාපොරොත්තුවක් තිබ්බා පුතාට කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව තමයි පුතාගේ මීට පෙර දක්ෂතා අනුව, ඉස්කෝලේ විභාගය හොඳට කරලා තිබුණා. පුතා දේශීය විදේශීය ඔලිම්පියා තරගවලටත් සහභාගි වෙලා, ඒ තරගවලින් අතිවිශිෂ්ට අයුරින් ජය ලබා තිබෙනවා."
-----------------------------



                            
ජීව විද්‍යාව මුල්තැන මාතර සුජාතා බාලිකාවේ ප්‍රමුදි භාෂිණි


මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පළමු ස්ථානය හිමි කරගන්නට මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ප්‍රමුදි භාෂණි මුණසිංහ (19) සිසුවිය සමත්වූවාය.

මාතර වැවහමන්දුව සූරච්චිය පාර තුන් වැනි පටු මගේ පදිංචි ප්‍රමුදි ගේ පියා සමන් තිලක් මුණසිංහ (55) මහතාය. ඔහු අම්බලන්තොට වී පරේක්ෂණ ආයතනයේ පරේක්ෂණ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා වන අතර ප්‍රමුදිගේ මව ඉන්දික සමන්තිනි නරසිංහ (50) මහත්මිය මාතර කෘෂිකර්ම කාර්යාලයේ කෘෂිකර්ම උපදේශිකාවකි.

“මුල සිටම ඉලක්කයකට අනුව වැඩ කළා. පාසලෙන් හා ටියුෂන් අධ්‍යාපනයෙන් විෂය නිර්දේශය ආවරණය කර ගත්තා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියල්ලම පාහේ සොයාගෙන අධ්‍යයනය කළා. එයින් මට මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණා." ඇය කියයි.

ඇගේ එකම නැගණිය වන චමිදි ඕෂණි මුණසිංහ (18) සුජාතා විද්‍යාලයේම ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන අතර ලබන වසරේ දී විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින්නීය.

සුජාතා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවක ද වන පුමුදි භාෂණී සිසුවිය සිය ජයග්‍රහණය පිළිබඳව මෙසේ ද කීවාය.

" මම මුල සිටම ඉලක්කයකට අනුව විභාගයට මුහුණ දුන්නා. විභාගය කිට්ටු වන විට විභාගයට අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කර ගෙන තිබුණා. ඒ නිසා කලබලයක් නැතිව සැහැල්ලු මනසකින් විභාගයට මුහුණ දුන්නා.

මම හිතුවේ නෑ මේ තරම් ජයග්‍රහණයක්. මගේ ඉලක්කය වුණේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමටයි. අද අම්මා ගෙදර ආවට පස්සෙයි මම ජංගම දුරකතනයෙන් මගේ විභාග ප්‍රතිඵලය බැලුවේ. ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පළමුවැනියා කියලා දැන ගත්තම මට ලොකු සතුටක් දැණුනා.

මම ශිෂ්‍යත්වය විභාගය ද ලකුණු 179 ක් අරගෙන සමත් වුණා. සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ 9ක් ලබා ගෙන මාතර දිස්ත්‍රික්කයෙන් අට වැනියා බවට පත් වුණා. පාසලේ බාලදක්ෂවලට අමතරව චෙස් ක්‍රීඩාව ද කළා. සිංහල භාෂා දින තරගවලට හා ඔලිම්පියාඩ් තරගවලට සහභාගි වී ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා.

මට මේ ජයග්‍රහණය ලබා ගැනීමට උර දුන් සුජාතා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු අකුරු කළ සියලුම ගුරුවරුන් උපකාර පන්ති ගුරුවරුන් හා මගේ දෙමාපියන් නැගණිය මේ අවස්ථාවේ දී ආදරයෙන් මතක් කරනවා.

ඒ වගේම ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම දෙවැනියා වූ ලෙමාෂා උද්‍යාංගී මගේ මිතුරිය මතක් කළ යුතුමයි. මම එයාගේ ගෙදර කණ්ඩායම් පන්තිවලට සහභාගි වෙමින් ලෙමාෂා සමග එකට ඉගෙන ගත්තේ. ඇයගේ මවුපියනුත් ආදරයෙන් මතක් කරනවා.  ඒ මිතුරුකමත් මට ජයග්‍රහණයට රුකුලක් වුණා.

මගේ අනාගත බලාපොරොත්තුව මනෝ විද්‍යා අංශයෙන් ඉහළට යන්නයි.

---------------------




වාණිජ විෂයය මුල්තැන කොළඹ සිරිමාවෝ බාලිකාවේ දිල්සරණි තරුෂිකා
 

අ.පො.ස. උසස් පෙළ විභාගයේ (2022) වාණිජ විෂය ධාරාවේ සමස්ත ලංකාවෙන් පළමු ස්ථානය හිමි කරගත්තේ කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා ශිෂ්‍යාවය.

වාණිජ විෂය ධාරාවේ සමස්ත ලංකාවෙන් පළමු ස්ථානය ලැබීමෙන් පසුව ඊයේ (5 වැනිදා) පෙරවරුවේ සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පැමිණි දිල්සරණි ශිෂ්‍යාව “නංගිලා මල්ලිලා හීනයක් තියාගෙන, හීනය වෙනුවෙන් කැපවුණොත් හීනය සැබෑ කරගන්න පුළුවන් යැයි විශ්වාස කරනවා." යැයි පැවැසුවාය.

හීනය වෙනුවෙන් පාසලෙන් සහ ගුරුවරුන්ගෙන් නිසි මග පෙන්වීමක් ලැබුණොත් කැපවීමෙන් හීනයට යෑමට හැකියාව ඇති බවත්, මෙම ජයග්‍රහණය ලැබීමට පාසලෙන් ලැබුණු සහයෝගය නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් හැටියට ලැබුණු විශාල සම්පතක් ලෙස සලකන බවත් ඇය කීය.
 ජයග්‍රහණය සඳහා පාසලෙන් උපරිම ප්‍රතිලාභය ලැබීම පිළිබඳව සතුටු වන බව ද සඳහන් කළාය.

මෙම ජයග්‍රහණයට උදව් කළ අම්මා, තාත්තා සහ අක්කාට, විදුහල්පතිතුමිය ඇතුළු පාසලේ සියලුම ගුරු මෑණිවරුන්ට, පියවරුන්ට සහ මිතුරු මිතුරියන්ට විශේෂයෙන් ස්තුතිය පුදකරන බව ද ඇය වැඩිදුරටත් පැවැසුවාය.

 ---------------

 


කලා අංශයේ පළමුවැනියා කෑගල්ල ශා.ජොෂප් බාලිකාවේ සස්සරනි අදිපත්තු


අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2022) කලා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ.එම්. සචිනි සස්සරනි අදිපත්තු සිසුවිය විසින් හිමි කරගනු ලැබුවාය.

සචිනි සස්සරනි අදිපත්තු වරකාපොළ ඇත්නාවල සංවර්ධන ඉඩමේ දැනට පදිංචිව සිටින අතර පියා ඩබ්ලිව්.ඒ.එම්. මුදියන්සේය. දැදිගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරයි. මව එම්.පී. මාලනි රාජපක්ෂ වරකාපොළ නිවටුව මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ උප ගුරුවරියක් ලෙස සේවය කරන්නීය. ඇයගේ එකම සහෝදරිය මේ වනවිට කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් භාෂාව හදාරමින් සිටින්නීය.

2003  උපත ලබා ඇති සචිනි සස්සරනි ශිෂ්‍යාව පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ විභාගය දක්වා කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා 2019 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සමාර්ථ 9ක් හිමි කරගත්තාය. උසස් පෙළ විභාගයට භූගෝල විද්‍යාව, චිත්‍ර හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරා දිවයිනේ ප්‍රථම ස්ථානය හා කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තාය.
සචිනි සස්සරනි අදිපත්තු ශිෂ්‍යාව සිය ජයග්‍රහණය පිළිබඳ මෙසේ පැවසුවාය.

මම ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 146 ක් ලබා ගැනීමට හැකි වුණා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා ඒ සාමාර්ථ 9 ක් ලබා ගැනීමට හැකි වුණා. උසස් පෙළ විභාගයට කලා අංශය තෝරාගත්තා. මම සමස්ත ලංකා චිත්‍ර තරගවලින් ජයග්‍රහණ ලබා සිටිනවා.
මම මුල ඉඳලම ක්‍රමානුකූලව ඉගෙන ගත්තා. එදිනෙදා අධ්‍යාපන වැඩ කටයුතු එදිනෙදාම කරලා ඉවර කර ගත්තා. ඉලක්කයක් තියාගෙන වැඩ කටයුතු සිදු කළා. විභාගයට මුහුණ දුන්නට පස්සේ මම හිතුවා හොඳ ප්‍රතිඵලයක් මට ලැබෙයි කියලා. ඒත් දිවයිනේ ප්‍රථමයා වෙයි කියලා හිතුවේ නෑ. මගේ මෙතෙක් පැමිණි ගමන්මගේ සතුටුම දවස අද තමයි. මගේ අනාගත බලාපොරොත්තුව භූගෝල තොරතුරු විද්‍යාව පැත්තෙන් ඉහළටම යන්න යැයි පැවසුවාය.



----

 



ජෛව තාක්ෂණවේද මුල්තැන - කොළඹ දේවි බාලිකාවේ රුවිනි අහිංසා

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේදී ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය ධාරාවෙන් මෙවර දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ දොන් රුවිනි අහිංසා වික්‍රමරත්න ශිෂ්‍යාවය.
 කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි රුවිනි පවුලේ එකම දරුවාවන අතර ඇය කුඩා කාලයේ සිටම ඉගෙනුමට උපන් හපන්කම් දක්වන්නියකැයි මවුපියෝ පවසති.
දෙහිවල ශාන්ත ක්ලෙයාර් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දක්වා අධ්‍යාපනය හැදෑරූ රුවිනි උසස් පෙළ අධ්‍යාපනය හැදෑරීම සඳහා කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වූවාය.
දේවි බාලිකා විද්‍යාලයේදී වෙහෙස මහන්සිවී අධ්‍යාපන කටයුතුවල නිරතවූ ඇය පාඩම් කටයුතු වලට අමතරව විනෝද චාරිකා යෑමට පවා අමතක නොකළාය.
පාසල් යෙහෙළියන් සමගද එකමුතුව වැඩකළ රුවිනිගේ අධිෂ්ඨානය වූයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උසස් පෙළට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීමය.
කොළඹ දිස්ත්‍රික්කයේ පළමු තිස්දෙනා අතරටවත් ලකුණු ලබාගත යුතු යැයි අධිෂ්ඨානයෙන් පසු වූවාය.
උසස් පෙළ ප්‍රතිඵල ලද මොහොතේ සිය ජයග්‍රහණයේ සතුට විශ්‍රාමික මවුපියන් සමග බෙදාගත් රුවිනි ගුරුවරුන්ට ඒ මොහොතේම දැනුම්දී කෘතවේදීත්වය පළ කළාය.
තොරතුරු පිළිබඳ තාක්‍ෂණ විෂය කතිකාචාර්යවරියක වීම. රුවිනි අහිංසාගේ අහිංසක බලාපොරොත්තුවය.


------------
 


ඉංජිනේරු තාක්ෂණවේද මුල්තැන රිච්මන්ඩ් විදුහලේ සමුදිත නයනප්‍රිය
 

 2022 වසරේ පැවැති අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත්තේ ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ කේ.පී. සමුදිත නයනප්‍රිය සිසුවාය.

ගාල්ල, හිනටිගලපාර, උණවටුන ප්‍රදේශයේ පදිංචි සමුදිත නයනප්‍රිය සිව් දෙනකුගෙන් යුත් පවුලක බාල දරුවාය. ඔහුගේ මව ඇඳුම් මැසීමේ නිරත වන්නියකි.

මම ගාල්ල උණවටුන මහා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවා. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වෙලා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට උසස් අධ්‍යාපනය හැදෑරීමට ගියා. සා.පෙළ විභාගයෙන් විෂයයන් 09ටම ඒ සමාර්ථ ලබා ගත්තා. තාක්ෂණ විෂය ධාරාවෙන් 2022 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටියා. විභාගය සමත්වන බව දැනගෙන හිටියා. ඒත් ලංකාවෙන්ම පළමු තැනට පත්වේවි කියලා හිතාගෙන හිටියේ නැහැ. ඒක නම් පුදුමයක්.

තාත්තා නැතිවෙලා තුන් මාසයේ පින්කම දිනයදා විභාග ප්‍රතිඵල ලැබුණා. තාත්තා ආශා කරපු විදියටම අධ්‍යාපන අංශයෙන් ඉහළ තැනක ඉන්න ලැබීම ගැන සතුටට පත්වෙනවා යැයි  සමුදිත කීය.
මං උපකාරක පන්තිවලට ගියා. මම 01, 02, 03, 04 යන පන්තිවල දී මාගේ තාත්තා පාසල් අධ්‍යාපනයට හුරු කළා. මම කුඩා කාලයේ සිට කැමති බාහිර අධ්‍යාපන ක්‍රමවලට. තාත්තා මට කුඩා කාලයේ දී උගන්වපු දේවල් හා තාත්තා මගපෙන්වූ විදිය නිසා තමයි මට අද මෙම තත්ත්වයට එන්න පුළුවන් වුණේ. තාත්තා ඒ විදියට නොකරන්න සමහර මම මෙතන නොඉන්න පුළුවන්.
උසස් පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිපලයක් ගන්න අනිවාර්යයෙන්ම මහන්සි වෙන්න ඕනෑ. කවුරුහරි කියනවා නම් කිසිදු මහන්සියක් නොවී එවැනි ප්‍රතිපලයක් ගන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම බොරුවක්. මමත් මහන්සි වුණා.
ඒත් මම දකින දෙයක් තමයි ළමයි මහන්සි වුණාට කාර්යක්ෂමතාව අඩුයි. ගොඩක් දේවල් අපතේ යනවා. හොඳම උදාහරණය තමයි ජංගම දුරකතනය. වත්මන් අධ්‍යාපන ක්‍රමය එක්ක ජංගම දුරකතනය නැතිව අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අපහසුයි. කොවිඩ් වසංගතයටත් අපට මුහුණ දෙන්න වුණා. දුරකතනය හා අන්තර්ජාලය අත්‍යවශ්‍ය දෙයක්. උසස් පෙළ විභාගය ලියන්නේ වැඩිහිටි සිසුන්. ඒ නිසා මේවා පරිහරණය කිරීමේ දී වැරදි දේවල්වලට යොමු නොවීමට ඒ අය වගබලා ගත යුතුයි.
විද්‍යාලයේ ආචාර්යවරුන් අමතර පන්ති පැවැත්වූවා. විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට මණ්ඩලයට මෙහිදී මගේ ස්තූතිය පුදකරනවා යැයි ද සමුදිත නයනප්‍රිය සිසුවා කීවේය.