saudi-sri-lankan-issue

ගෘහ සේවය සඳහා සවුදි අරාබියට ගිය මෙරට කාන්තාවන් පහළොස් දෙනකු පමණ මාස ගණනාවක සිට එරට කාමරයක සිර කරගෙන සිටින බව දඹුල්ල, අනුරාධපුර, සහ පුත්තලම ප්‍රදේශවල කාන්තාවෝ තිදෙනෙක් වීඩියෝවක් ඔස්සේ හෙළිදරව් කරති. මෙම කාන්තාවන්ට ඉඩක් ලැබුණු ප්‍රථම අවස්ථාවේම ඔවුන් මෙම වීඩියෝ පටිගතකරගෙන මෙරට ජනමාධ්‍යවේදීන් වෙත එවා තිබුණේ මෙරට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හෝ වගකිව යුතු නිලධාරීන් ගේ අවධානයට යොමු කරවන ඉල්ලීම මතය.

දඹුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාව කියා සිටියේ මෙරට කාන්තාවන් පහළොස් දෙනකු පමණ සවුදි අරාබියාවේ මෙම කාමරයේ රඳවාගෙන දොරවල් වසා දිනකට එක වේලක් පමණක් ආහාර දී සඟවාගෙන සිටින බවය.නියෝජිත ආයතනය විසින් කාන්තාවන් දින දෙක තුන විවිධ රැකියාවලට විකුණා මුදල් උපයාගන්නා බවත් ඉතා සූක්ෂම ලෙස මෙම මිනිස් ජාවාරම සිදු කරමින් කාන්තාවන් විවිධ මානසික පීඩන වලට ලක්කරමින් සිටින බවත් ඇය වීඩියෝව ඔස්සේ සඳහන් කරන්නීය.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි සෞදි අරාබියාවේ එම කාමරයෙන් ම සිර වී සිටින ගෘහ සේවිකාවන් හඬා වැටෙමින් කියා සිටියේ මෙම ස්ථානයේ රඳවාගෙන සිටින බොහෝ කාන්තාවන්ට විවිධ අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා අවස්ථාව නොමැතිවීම, අපිරිසුදුභාවය, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නොමැතිවීම නිසා විවිධ ලෙඩ රෝගවලට ලක්වෙමින් සිටින බව ය. එමෙන්ම දිනකට එක වේලක් ආහාර දී දොරවල් සියල්ල වසා දමන බවත් අනෙක් ගෘහ සේවිකාවන් දිනපතා මාරුවෙන් මාරුවට විවිධ ආයතන සහ පුද්ගලයන් වෙත අලෙවි කිරීම සිදුවන බවත් ඇය පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනය කින් සවුදි අරාබියට පැමිණි බවද ඇය කියයි.

පුත්තලම ප්‍රදේශයේ පදිංචි කාන්තාව කියා සිටියේ තමන් කොළඹ ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයකින් විදේශගත වූ බවය. මාස ගණනාවක් නිවාසවල සේවය කළ ද දැඩි පීඩනය සහ විවිධ කරදරවලට ලක්ව සේවය කළ කාලයට වැටුප පවා අහිමි වී මෙම රැකියා නියෝජිත ආයතන කාමරයේ මේ වන විට සිර වී සිටින බවය. මෙම කාන්තාවන් නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය බව පැවසූ විට රැකියා නියෝජිත ආයතනයේ හිමිකරුවන් විශාල මුදලක් දෙන ලෙස බල කරමින් බලහත්කාරයෙන් සිරකරගෙන සිටින බවද ඔවුහු පවසති.
කාංචන කුමාර ආරියදාස