katunayake-passenger-pass

ශ්‍රී ලංකාවේ අධිකරණ දෙකක් මගින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ පුද්ගලයකු , කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කවුළුව මග හරිමින් ඉන්දියාවට පලා යමින් සිටියදී ඔහු ගමන් කළ ගුවන් යානය තුළ රඳවාගෙන ඊයේ (30දා) උදෑසන ආපසු ගෙන්වා ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත් වී තිබේ.

මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි අයෙකි . ඔහුට එරෙහිව යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව සහ මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණ මගින් රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනම් දෙකක් පනවා තිබුණි .

ඔහු ගුවන් යානය පිටත්වීමට ආසන්න වනවිට ගුවන් තොටුපොළ ආගමන විගමන කවුළු වෙත පැමිණ , නිලධාරීන්  කිසිවෙකු නොමැති ස්ථානයක් බලා , ඒ අතරින් රිංගා ගොස් තිබේ . මේ බැව් ආගමන විගමන නිශ්කාශන කටයුතු කර ගැනීමට පැමිණ සිටි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් විසින් දැක, ඒ බැව් ආගමන විගමන නිලධාරීන් වෙත දැනුම් දී ඇත.

ඒ අනුව එම කාන්තාව සමග ආගමන විගමන නිලධාරීන් මෙම පුද්ගලයා සොයා ගිය ද ඔහු ඒ වනවිට අදාළ ගුවන් යානය වෙත ගොස් තිබුණි .

පසුව මෙම නිලධාරීන් ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා හට මේ බැව් පවසා , ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර, මොහුගේ ගුවන් ගමන් බලපත්‍රය සහ ගුවන් ප්‍රවේශ පත්‍රය පරිගණක පද්ධතිය මගින් ලබා ගෙන පර්ක්ෂා කිරීමේදී , මොහු ගුවන් ගමන් තහනම් දෙකක් ඇති පුද්ගලයකු බවට කරුණු අනාවරණය වී තිබේ . කටුනායක ගුවන් ගමන් පාලන මෙහෙයුම් මැදිරිය අමතා මේ තොරතුරු දැනුම් දී ඇති අතර, ඒ වනවිටත් මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් සීමාවෙන් ඉන්දීය ගුවන් සීමාවට ඇතුළු වී තිබුණි.



පසුව කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් ගුවන් මෙහෙයුම් කළමනාකරු මගින් මේ පිළිබඳ , මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා, ඉන්දියාවේ මුම්බායි නුවර ගුවන් තොටුපොළ මෙහෙයුම් කළමනාකරු සහ එරට ගුවන් ගමන් මෙහෙයුම් පාලන මැදිරිය දැනුවත් කිරීමටද පියවර ගෙන ඇත .

ඒ අනුව මෙම ගුවන් මගියා ඊයේ (30දා) ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ආපසු රැගෙන විත් කටුනායක ආගමන විගමන නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

මෙම ගුවන් මගියා ගුවන් තොටුපොළ විගමන කවුළුව වෙත නොපැමිණිය ද ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයෙහි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන ව්‍යාජ මුද්‍රාව සටහන් වී තිබුණි. එහිදී අත්අඩංගුවට ගත් ගුවන් මගියා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත .

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන විගමන නිලධාරී එන්.කේ.ගුරුගේ මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරීන් වන පී.ආර්.සේනානායක , කේ.ඒ.එන්. ජී.බණ්ඩාර, පී.ඒ.සී.පී.පතිරාජ සහ ඩී.එම්. සී.ජේ.දසනායක යන මහත්වරුන් විසින් සිදු කර ඇත.

    කටුනායක -ටී.කේ.ජී.කපිල