panadura-incident

මුදල් ඔට්ටුවට පැවැත්වූ ත්‍රිරෝද රථ රේස් තරගයක් යතුරුපැදියකින් යමින් වීඩියෝගත කරමින් සිටි තරුණයන් දෙදෙනකු විදුලි කනුවක ගැටීමෙන් එක් තරුණයකු මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

මිය ගොස් ඇත්තේ පානදුර නල්ලූරුව මොරවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි ජයවීර ලියනගේ දේශාන් පෙරේරා නමැති 19 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.

කළුතර දෙස සිට පානදුර දෙසට ත්‍රීරෝද රථ තරගයක් පවත්වා ඇති බවත්, තවත් තරුණ පිරිසක් යතුරුපැදිවලින් තරගය වීඩියෝ කරමින් පැමිණ ඇති බවත් පොලිසිය පවසයි.

එහිදී එක් යතුරුපැදියක් නල්ලූරුව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කනුවක ගැටී බරපතළ තුවාල ලැබූ තරුණයන් දෙදෙනා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් සදහන් වේ.



මියගොස් ඇති තරුණයා කොළඹ ජාතික රෝහලට යොමුකර ඇතත්, නැවත පානදුර මූලික රෝහලට යොමුකර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.

සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඇති වූ සංකූලතා මරණයට හේතුවී ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසාන් විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරුව ඇති බව සඳහන් වේ.

හදිසි මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක මාධව ප්‍රේමනාත් මහතා විසින් සිදුකරනු ලැබීය.



මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක ජයසිංහ, සැරයන් ලක්මාල් (61864), කොස්තාපල් ප්‍රියන්ත (72257) සහ කේ.එල්.ඒ. සම්පත් (103298) යන මහත්වරු පරීක්ෂණ පැවැත්වූහ.

  පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්