kalutara-girl-rescue-operation

පැය භාගයක පමණ කාලයක් කළුතර රෝමානු කතෝලික විදුහලේ වැසිකිළි බිත්තියේ සහ තාප්පයට සිර වී සිටි අවුරුදු හතක දැරියක බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ භටයන් සමත්විය.



දැරිය සෙල්ලම් කරමින් සිටියදී මෙසේ බිත්ති දෙකක් අතර සිරවී ඇතැයි පැවසේ.

දැරියක පාසලේ බිත්ති දෙකක සිර වී සිටින බවට කළුතර ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ කර්නල් අරවින්ද අමරසේකර සහ කළුතර දකුණ පොලිසියේ දැනුම්දීමෙන් ගිනි නිවන භටයන් හය දෙනෙකු ආපදා ගිලන් රථයකින් ස්ථානයට ළඟා වී තිබේ.
ස්පැඩර් නමැති සූක්ෂ්ම උපකරණයක් ආධාරයෙන් හයිඩ්‍රොලික් මගින් බිත්ති දෙකට තෙරපුමක් ලබා දී දැරිය බේරාගත් බව එහි ප්‍රධාන ගිනි නිලධාරි ඕ.වී.අයි.පී. ලක්ෂාන් පැවසීය.

විනාඩි 30ක් පමණ තිස්සේ සිරවී සිටි හත් හැවිරිදි දැරිය මෙලෙස බේරාගන්නා ලදි.ඇය කළුතර කටුකුරුන්ද කලමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

කළුතර, කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක වන කළුතර, කටුකුරුන්ද, කලමුල්ල ප්‍රදේශයේ පදිංචි දැරියක මෙසේ බේරා ගෙන ඇති බව සඳහන් වේ.
කළුතර ආපදා කළමනාකරණ ඒකකයේ යුද හමුදා සෙබළුන් පිරිසක් ද සහායට ස්ථානයට ළඟාවී තිබුණි.
ඩී.අයි.සී. කුමාර, කේ.ඒ.සී. ජයනාත්, ඒ.එල්.ඊ.පී. පෙරේරා, එම්.ඩී. සමීර සහ ඩබ්ලිව්.බී.ආර්.ජේ. පෙරේරා යන ගිනි භටයන් මෙහෙයුමට එක්ව ඇත.