During-the-import-ban,-5000-vehicles-were-smuggled-and-supported-from-within-the-RMV

කොරෝනා වසංගතයෙන් පසු ආර්ථික ගැටලු පැනනැගුණ වහාම  පිටරටවලින් වාහන ආනයනය රජය තහනම් කරන ලද නමුත් ආර්එම්වී නිලධාරීන්ගේ සහයද ලබාගෙන මෙරටට වාහන 5000 කට ආසන්න සංඛ්‍යාවක් නීතියට පිටින් ආනයනය කර ඇති බව අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිසම ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කරුණු අනාවරණය කළේය.

මෙම ජාවාරමේ දී වාහන 5000ක් මෙරටට නීති විරෝධීව ගෙන්වා ලියාපදිංචි කර ඇති බවත්, ඉන් වාහන 200 ක් සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
අල්ලස් කොමිසමේ බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් සඳහන් කළේ මෙම ජාවාරම කාලයක සිට කරගෙන ගොස් ඇති බවත් මේ වන විට සිද්ධියට අදාළව සැකකරුවන් 06 දෙනකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත්ය


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියේ ක්‍රියාකරු මෙම ජාවාරමට සෘජුවම සම්බන්ධ වී ඇති බවත් එම දත්ත පද්ධතියේ රහස්‍ය අංකය ඔහු සතුව පමණක්ම තිබි ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සැකකරුවන් මිල අඩු වාහන වල දත්ත මිල අධික වාහන වල දත්තවලට මාරුකර රජයට විශාල
වශයෙන් බදු ගෙවීම පැහැර හරිමින් සිදුකළ මෙම ජාවාරම අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදු කර
ඇති බව ද එම කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
වර්ෂ 2007 දී මෙරටට ගෙන්වූ ත්‍රිරෝද රථයක දත්ත ඉවත් කර ඒ වෙනුවට 2015 වර්ෂයේ මෙරටට ආනයනය කරන ලද මිනිකූපර්' වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු සඳහන් විණි.

මෙම වාහනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ව්‍යාජ ලේඛන හේතුවෙන් රජයට අහිමි වී ඇති බදු මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බව ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය.


තම කොමිසමට ලැබුණු තොරතුරකට අනුව වාහන අමතර කොටස් ආනයන සමාගම් විසින් මෙරටට ගෙන්වනු ලැබූ මෙම මිනිකූර් වර්ගයේ මෝටර් රථය භාරයට ගත් බවත්, එම වාහනයේ දත්තවලට අනුව එවන් වාහනයක් රේගුවෙන් මුදා හැර නැති අතර, එම චැසි අංකයට අනුව එවැනි වාහනයක් ලියාපදිංචි වී ඇත්තේ ජපානයේ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව එම වාහනය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට නියෝගයක් නිකුත් කරන්නැයි අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වහාම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කරමින් අදාළ මිනිකූපර් රථය ශ්‍රී ලංකා රේගුවට භාර දෙන ලෙසට නියම කළේය.
අල්ලස් කොමිසමේ බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණතිලක, පොලිස් පරීක්ෂක දුෂාන්ත සහ අධිකරණ අංශයේ උප පොලිස් පරීක්ෂක රංජිත් බණ්ඩාර යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.
(නිමන්ති රණසිංහ)