
කෙලෙස් බර ලෝකය පිටුදකිමින්, පදිංචි නිවහන සහ ඉඩම ඇතුළු තමන් සතු දේපළ සම්පත් සියල්ලම මෙහෙණි ආරාමයකට පූජා කර, මව, දියණිය, බෑනා සහ තවත් දස දෙනෙක් කැබිතිගොල්ලෑව පහළ උස්ගොල්ලෑවේදී ඉකුත් 27 වැනිදා පැවිදි දිවියට ඇතුළත් වූහ.
මෙලෙස පැවිදි දිවියට ඇතුළත් වූයේ, කැබිතිගොල්ලෑව පහළ උස්ගොල්ලෑව පදිංචි ධනවතී හේරත් (56), උපාධිධාරි ගුරුවරියක වන ඇගේ දියණිය වත්සලා දුෂ්මන්ති අබේරත්න (33) සහ ඇයගේ සැමියා වන නුවන් මධු සංඛ (33) යන තිදෙනා ඇතුළු දහතුන් දෙනෙකි.
නුවන් මධුසංඛ කාර්මික ශිල්පියෙකි.
මෙම එකම පවුලේ තිදෙනා ඇටඹ ගස්කඩ ගෝසිංග වන අරණ සේනාසනාධිපති කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමියන්ගේ මව, නැගණිය සහ මස්සිනා වීම විශේෂත්වයකි.
මේ අතර, අවුරුදු 56-59 වයස්වල පසුවන තවත් මවුවරුන් දෙදෙනකු ද එදින සසුන්ගත වූ අතර, එම මවුවරුන් දෙදෙනා ද ගෝ සිංග වන අරණෙහි වැඩවසන භික්ෂුන් වහන්සේ දෙනමකගේ මෑණිවරුන් දෙදෙනෙකි.
පැවිදි දිවියට ඇතුළත් වූ සෙසු අට දෙනා අවුරුදු 48, 44, 32, 31, 30, 29, 27 සහ23 යන වයස්වල පසුවන්නෝ වෙති.
ඔවුන් කුරුණෑගල මීගලෑව, මාවනැල්ල, මොනරාගල, කොළඹ, අවිස්සාවේල්ල, කන්තලේ, ගල්ගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, මෙම පිරිස ද රැකියාවල නිරතව සිටි අය වෙති.
- කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය සහ පදවිය පියදාස සමරවීර

Comments
Post a Comment
Your comment will be visible after approval