anamaduwa-story

රටේ සිදුවන මිනීමැරුම්වලින් සැලකියයුතු තරමක් යන්නේ පොලිසියේ නොවිසඳුනු අපරාධ ලිපි ගොන්නටය. එසේ වන්නේ මිනීමැරුම් හෝ අපරාධ සිදුකළ සැබෑ අපරාධකරුවන් රටේවත් නොමැතිවීම නිසාය. එසේත් නැතිනම් අනන්‍යතාව වෙනස් කරගනිමින් දුර බැහැර ප්‍රදේශවල කිසිදු තොරතුරක් නොමැතිව සැඟවී සිටින නිසාය. ඉස්සර නම් රහස් පොලිස් නිලධාරින් වෙස් වලාගෙන ගම්බිම්වල දුෂ්කරතා විඳිමින් අපරාධවල සාක්කි සහ අපරාධකරුවන් සෙව්වත් දැන් එසේ වන්නේ අඩුවෙනි. එවන් තත්ත්වයක් මැද ආනමඩුව, තෝනිගලදී මිනීමැරුමක් සිදුකර වසර හයකට වැඩි කාලයක් සැඟවී සිටි පුද්ගලයකු හසුවුණේ ආණමඩුව පොලිසියේ දක්ෂ විමර්ශනයක් හේතුවෙන්ය. එම විමර්ශනය වසර එකහමාරක් පුරා සිදුකර තිබිණි.

සංජීව කුමාර පද්මලාල් යනු ශ්‍රී ලංකා යුද හමුදාවේ උප ලුතිනන්වරයෙකි. ඔහු පදිංචිව සිටියේ ආණමඩුව, නිකවැව, මොරගොල්ලාගම ගම්මානයේය. යුද්ධයේදී ත්‍රස්තවාදීන්ට එරෙහිව දිවි පරදුවට තබා යුද වැදුණු ඔහු විවාහ වී සිටියේ මොරගොල්ලාගම ගමේම රුවැති කාන්තාවක් සමගය. ඒ 2003 වසරේදීය. මේ දෙදෙනාට පිරිමි දරුවෙකුද ඉපදුණු අතර බිරිඳ වෙනත් සම්බන්ධයක් නිසා සංජීව සහ දරුවා හැර ගියේ 2005 වසරේදීය. ඒ වනවිට දරුවාට වයස අවුරුදු එකහමාරක්ව තිබිණි.



දරුවා බලා කියාගැනීමට කිසිවකු නොමැති වීම නිසා සංජීව යුද හමුදා සේවය අතහැර නිකවැව ගම්මානයට පැමිණියේය. වඩු කර්මාන්තය සම්බන්ධයෙන් ලද දැනුමෙන් ගමේම වඩු මඩුවක් කරගෙන ගිය ඔහුට 2013දී විවාහ වී සැමියා හැරගිය කාන්තාවක් හමුවන්නේය. මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වූ ඇය රෙබේකාය. රෙබේකා හා සංජීව අතර ඇති හිතවත්කම කෙටි කලකින් ප්‍රේම සම්බන්ධයක් දක්වා දුරදිග යන අතර ඇය සංජිව හා විවාහ වන්නේ 2015 වසරේදීය. ඇයගේ පළමු විවාහයෙන් ලැබුණු දියණියද සිටියේ ඔවුන් සමගය. ටික කලක් සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ රෙබේකා සහ සංජීවගේ දීගයද පසුව රණ්ඩු සරුවල්වලින් නිරන්තරයෙන් ගහන විය.

මේ කාලයේදී නිකවැව නගරය හොඳින් පුරුදු වූ රෙබේකාට තවත් ආගන්තුකයෙකු හමුවන්නේය. ඔහු තෝනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෘත්තියෙන් බස් රියදුරෙකි. ඔහු සේවය කර තිබුණේ කුරුණෑගල - පුත්තලම මාර්ගයේ බස් රථයකය. මෙම සම්බන්ධය නිසා දෙදෙනා අඹුසැමියන් ලෙසද හැසිරිනි. මෙම සම්බන්ධය ගැන දැනගත් සංජීව තම බිරිඳට තදින් අවවාද කර තිබුණේ ඔය නටන ජවුසම නවත්තපං කියමිනි. එසේම ඇයගේ පෙම්වතා වූ බස් රියැදුරුටද තදින්ම අවවාද කර තිබුණේ සම්බන්ධය නවතන ලෙසය. එසේ වුවත් අනියම් සම්බන්ධය නැවතුනේ නැත. එනිසාම සංජීව සහ රෙබේකා අතර ඇතිවූ ගැටුම් ද අඩුවක් නොවීය. එහි ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ දෙසැම්බර් මාසයේ දිනක තම දියණියද සමගින් සැමියා හැරයන රෙබේකා නතර වන්නේ මීගමුවේ පිහිටි සිය වැඩිමහල් සොහොයුරියගේ නිවසේය. ඒ සංජීව දුක් මහන්සියෙන් හම්බකරගත් රුපියල් ලක්ෂ 14ක් වටිනා මුදල් හා රන් ආභරණද රැගෙනය.

පසුව රෙබේකා හා දියණිය නිවසට ගෙන්වා ගන්නා සංජීව උත්සාහ කරන්නේ සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමටය. නමුත් ඒ උත්සහායද ව්‍යර්ථ වන්නේ තම බිරිද බස් රියැදුරු සමගින් පවත්නා සම්බන්ධය නතර නොවීමත් සමගය. එසේ තිබියදී මෙම කුටුම්බය යළිත් දෙදරා යන්නේ 2017 වසරේ මාර්තු 16 වැනිදාය. ඒ රෙබේකා සිය දියණිය සමගින් සංජීව අත්හැර නිවසින් යාමත් සමගය. ඇය ගැන කිසිදු තොරතුරක් ඉතිරි නොකර ඇය නිවසින් ගොස් තිබුණාය. දැඩි කලබලයට පත් සංජීව මේ ගැන රෙබේකාගේ අක්කාගෙන් විමසූවිට ඇය පවසා ඇත්තේ ''නංගි ගෙදර ආවා. ළමයා මට බාර දීලා ගියා. ගියේ කොහේද කියලා දන්නේ නෑ.'' යනුවෙනි.

මේ අනුව නිකවැව මොරගොල්ල ප්‍රදේශයේ තම හිතවතුන්ටද සංජීව දැනුම් දෙන්නේ තම බිරිඳ දුටුවේ නම් පවසන ලෙසය. එසේ තිබියදී 2017 මාර්තු 16 වැනිදා දහවල්ම සංජීවගේ දුරකතනයට පණිවුඩයක් ලැබෙන්නේ රෙබෙකා තවත් පුද්ගලයකු සමගින් තුරුළු වී කරුණෑගල දෙසට බස් රථයකින් ගමන් කරන බවටය. මේ අනුව රෙබේකා සොයා කුරුණෑගල දෙසට යන සංජීවට එකවරම සිහිවන්නේ මේ මාර්ගයේ යන දුරගමන් බස් රථ ආණමඩුව, තෝනගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක තේ පානය සඳහා නවතන බවය.

එනිසා රෙබේකා හා ඇයගේ අනියම් සැමියා එහි සිටිනු ඇතැයි සංජීවට සැක සිතිණි.

මේ අනුව එම හෝටලය වෙත ගිය සංජීවට රෙබේකා සහ ඇයගේ අනියම් සැමියා සිටිනු දක්නට ලැබිණි. මෙහිදී දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් හටගෙන ඇත. පසුව එය ගැටුමක් දක්වා දුරදිග යන අතර එහිදී සංජීව විසින් අතැති පිහියකින් රෙබෙකාගේ අනියම් සැමියාට ඇන තිබිණි. පසුව රෙබෙකාට ද පිහි ඇනුමක් සිදුකිරීමට උත්සාහ දැරුවත් හෝටලයේ සිටි පිරිස් ඇයව ඉන් බේරාගෙන තිබිණි. පිහි ඇනුමට ලක්වූ පුද්ගලයා නිකවැව තෝනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙන්ම එම ගම්මානයේ බොහෝ දෙනෙකු හඳුනන අයකු වූ නිසා ගම්වාසින් එක්රොක්ව සංජීවට පහර දීමක්ද සිදුකර තිබේ. පසුව 119 පොලිස් හදිසි ඇමතුම් අංකයටද දැනුම් දී තිබිණි.

පිහි පහරින් බරපතළ තුවාල ලැබූ සිය බිරිඳගේ අනියම් සැමියා මියගිය බවත් පොලිසිය එන බවත් දැනගත් සංජීව තමන් අල්ලාගෙන සිටි පිරිසගෙන් මිදී තෝනගල ප්‍රදේශයේ මහ වනයට දිව ගොස් එදින රාත්‍රිය වනතෙක්ම වනයේ ගතකර තිබිණි. එලෙස සැඟවී සිටි ඔහු පසුව ආණමඩුව රෝහලටද ගොස් හිසට වූ තුවාලයකට බෙහෙත් දමා ගනිමින් එදින රාත්‍රියේම යළි නිකවැව ගම්මානයට පැමිණ තිබිණි. ඒ තම පුතු මවට බාරදීම සඳහාය. පසුව නිකවැව ගම්මානයට සමුදෙන මොහු ගැන කිසිදු තොරතුරක් නොවීය.

මෙම ඝාතනය ගැන ආණමඩුව පොලිසියේ නොවිසඳුනු අපරාධ ලැයිස්තුවේ වසර ගණනාවක් පුරා පැවතියේ දූවිලි බැඳීය. හලාවත පොලිසියේ සිට ආණමඩුව පොලිස් ස්ථානයට පැමිණි පොලිස් කොස්තාපල් වර්ණසූරිය (76743) මේ නොවිසඳුනු අපරාධයට අදාළ ලිපි ගොනුව පීරන්නට විය. ඒ 2022 වසරේ මාර්තු මාසයේදීය. වසර පහකට වැඩි කාලයක් කල්ගොස් තිබූ ඝාතනයේ විමර්ශනයට ඔහුට ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එන්. සිරිමෙවන් සහ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. එස්. ජයන්තගේ සහායද හිමිවිය.

ප්‍රථමයෙන්ම මේ නඩුවේ සැකකරු ලෙස හඳුනාගත් ආණමඩුව නිකවැව මොරගොල්ල ප්‍රදේශයේ පදිංචි සංජීව කුමාර පද්මසිරි නැමැත්තාගේ පවුල් පසුබිම පොලිස් කොස්තාපල්වරයා විසින් සොයනු ලැබීය. ඒ ගම්මානයේ ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ සිවිල් ආරක්ෂක කමිටු සම්බන්ධ කරගෙනය. මේ අනුව සංජීව කුමාරගේ පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනෙකු සිටින බවත් ඔවුන් පොළොන්නරුව, දඹුල්ල, මහියංගණය ඇතුළු ප්‍රදේශවල සිටින බවත් ඔහුගේ මව සහ 19 හැවිරිදි පුතු නිකවැව, මොරගොල්ල නිවසේ සිටින බවත් හෙළිකරගෙන තිබිණි. එහෙත් ඒ කිසිවෙකුගෙන් හෝ සංජීව කුමාර සිටින්නේ කොහේද කුමක් කරන්නේද යන වග දැනගැනීමට නොහැකි විය.

මේ අනුව මේ පවුලට සම්බන්ධ 25 දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් සොයාගත් පොලිස් කොස්තාපල් වර්ණසූරිය ඒ ජාතික හැඳුනුම්පත්වලින් ලබාගෙන ඇති දුරකතන සිම්පත් අංක අධිකරණ අවසරය මත ලබාගෙන තිබිණි. ඒ අංක අතරින් විමර්ශනය කළත් අපරාධයේ සැකකරු සොයා ගැනීම අසීරු විය. දුරකතන සන්නිවේදන කුලුනු ඔස්සේද විමර්ශන වාර්තා කැඳවනු ලැබිණි.

සංජීව කුමාරගේ පුතු කුඹුක්ගැටේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරු සිසුවෙකු විය. බී සාමාර්ථ තුනක් ලබාගෙන විශ්ව විද්‍යාල වරම් ලබාගත් ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා නොගැනීමට තීරණය කළේ ඉංජිනේරු පීඨයට සුදුසුකම් නොලැබීම නිසාය. මේ අනුව හෝමාගම ප්‍රදේශයේ අර්ධ රාජ්‍ය විශ්ව විද්‍යාලයක උපාධි පාඨමාලාවකට ඇතුළත් වන පුතුට ඒ සඳහා සියලු වියදම් සිදුකර ඇත්තේ සංජීව කුමාරය. එසේම සංජීවගේ පළමු විවාහක බිරිඳ වන පුතුගේ මවද කුවේට් රාජ්‍යයේ සේවය කරමින් පුතුගේ වියදම් සඳහා මුදල් ලබා දී තිබුණේය. නමුත් මේ සම්බන්ධය දුරකතනයටත් බැංකු ගනුදෙනුවලටත් පමණක්ම සීමා වූවක් විය. එසේම සංජීවගේත් පුතුගේත් සම්බන්ධය ගැන කිසිවකු දැන සිටියේ නැත.

කෙසේ වෙතත් පොලිස් කොස්තාපල්වරයාට ඒ ඒ දුරකතන අංක හා ඒවාට ලද දුරකතන ඇමැතුම් වාර්තා පිරික්සීමේදී අඩුම දුරකතන ඇමතුම් ගණනක් සටහන් වී තිබූ අංකයක් නිරීක්ෂණය විය. ඒ අංකයෙන් කෙටි දුරකතන ඇමතුම් ලැබී තිබුණේ දුරකතන අංක දෙකකට පමණි.

එකක් සංජීවගේ මවටය. අනෙක් දුරකතන අංකය සංජීවගේ පුතුටය. අදාළ අංකය සැකකරුගේ යැයි සිතූ පොලිසිය ඒ බව තහවුරු කරගැනීමට සැලසුමක් යෙදුවේය. ඒ විමර්ශනය සිදුකළ පොලිස් කොස්තාපල් වර්ණසූරිය තරුණියක් විලසින් සංජීවගේ පුතු සමග දුරකථනයෙන් සම්බන්ධයක් ඇතිකර ගැනීමය. මේ අනුව සති දෙක තුනක් තුළ හිතවත්කමක් ගොඩනගාගත් පොලිස් කොස්තාපල්වරයා ඔහුගෙන් මාපියන්ගේ වගතුග විමසා සිටියේය. මව හැරගිය බවත් පියා වසර ගණනාවක් නොදුටු බවත් පුතා කියා තිබිණි. පුතා වැඩිදුරටත් කියා තිබුණේ තාත්තා රබර් දැව, මාළු, එළවළු ප්‍රවාහනය කර අලෙවි කරන ව්‍යාපාරිකයකු බවය. ඉංගිරිය හොරණ වැනි ප්‍රදේශවල පදිංචිව සිටින බවත් සඳහන් කර තිබුණි. අදාළ දුරකතන අංකයෙන් ඇමතුම් ලැබී තිබුණේද ඉංගිරිය, ඈගල්ඔය ප්‍රදේශයේ දුරකතන සන්නිවේදන කුලුනකින් වන අතර සැකකරු සිටින්නේ එහි යැයි පොලිසිය සොයා ගත්තේය. ආණමඩුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සමීපතම ව්‍යාපරිකයකු සිටියේද ඉංගිරියේය. ඔහු ලී බඩු හා වාහන ව්‍යාපාරවල නිරත කෝටිපතියෙකි. ඔහුගෙන් ඉංගිරිය, ඈගල්ල, බුලත්සිංහල ප්‍රදේශවල රඹර් දැව, මාළු, එළවළු ආදි භාණ්ඩ ප්‍රවාහනය කරන පුද්ගලයින් 15 දෙනෙකුගේ විස්තර ලබා ගත් අතර එතුළ පොලිසිය සොයා ගිය සැකකරුගේ දුරකතන අංකය මෙන්ම ඔහුට අයත් ලොරි රථයේ අංකයද තිබිණි. මේ අනුව බුලත්සිංහල, ආලෝකපුර ප්‍රදේශයට ගිය ආණමඩුව පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. එස්. ජයන්ත, පොලිස් කොස්තාපල් වර්ණසූරිය (76743) සහ පොලිස් කොස්තාපල් රංග (73336) යන නිලධාරීන්ට අදාළ ලොරි රථය හමුවූ අතර එය ලුහුබැඳ ගොස් සැකකාර සංජීව කුමාර නැමැත්තා ඔහුගේ නිවසේදීම අත්අඩංගුවට ගත හැකිවිය.

පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගෙන ආණමඩුව පොලිසිය වෙත රැගෙන ආ මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කරුණු රැසක් අනාවරණය විය. මෙම සැකකරු 2017 මාර්තු 16 වැනිදා අපරාධය සිදුකර කොළඹට පැමිණ ඇති අතර ඔහු වසරක පමණ කාලයක් පිටකොටුවේ පදික වෙළදාම් සිදුකර ඇත. පසුව ඩිමෝ වර්ගයේ ලොරි රථයක් කුලී පදනම මත ලබාගන්නා ඔහු මාළු සහ එළවළු ජංගම වෙළදාමක් පටන් ගෙන ඇත. එම ව්‍යාපාරයෙන් දියුණුවක් ලබන මොහු ඩිමෝ වර්ගයේ ලොරි රථයක් තමන්ටම කියා මිලදී ගෙන ව්‍යාපාරය තව තවත් දියුණු කරගෙන ඇත. කොළඹ හා කළුතර ආවරණය වන පරිදි ව්‍යාපාරය සිදුකළ මොහු ඉංගිරිය බුලත්සිංහල ප්‍රදේශයද හුරුපුරුදු ප්‍රදේශයක් කරගෙන තිබිණි.

පසුව තවත් ලොරි රථයක්ද මිලදී ගන්නා ඔහු රඹර් දැව ප්‍රවාහනය කරමින් ඒවා කර්මාන්තශාලා වෙත අලෙවි කරන ව්‍යාපාරයක්ද පටන්ගෙන බුලත්සිංහල ආලෝකපුර ගම්මානයේ නිවසක් සහ ඉඩමක්ද මිලදී ගෙන ඇත. එම නිවසේ ලී බඩු නිෂ්පාදනය කරන ස්ථානයක් පටන් ගත් ඔහු ව්‍යාපාර දියුණුවෙත්ම කෝටිපතියකු බවට පත්ව ඇත. මීට අමතරව පොලියට මුදල් ණයට දීමේ ව්‍යාපාරයක්ද කරගෙන ගොස් ඇති ඔහු ඈගල්ල ප්‍රදේශයේ අක්කර දෙකක පමණ තේ වත්තක්ද මිලදී ගෙන ඇත. කාත් කවුරුවත් නැති අවිවාහක තරුණියක් සමගින් සැකකරු ජීවත්ව ඇත. පොලිස් අත්අඩංගුවට පත්වන විට සැකකරුට 2017 වසරේ ආණමඩුව නිකවැව ජීවත්ව සිටියදී තිබූ පෙනුමට වඩා හාත්පසින්ම වෙනස් පෙනුමක් තිබූ බව පොලිසිය පවසයි. මොහුට කිසිම බැංකු ගිණුමක් නැති බවත් මොහු මිලදී ගෙන ඇති ලොරි දෙක සහ මෝටර් රථයද වෙනත් අයගේ නම්වලින් ලියාපදිංචි කර ඇතැයිද හෙළිවී ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන සිටියදී ඔහුගේ පුතු පොලිසියට කැඳවා තිබුණත් පියාට පුතාවත් පුතුට පියාවත් හදුනාගැනීමද අසීරු තත්ත්වයක පැවතිනි. සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.


(එෆ්. අස්ලම් )