
මාතර ඌරුබොක්ක ප්‍රදේශයේදී ඊයේ සවස පාසලක අනධ්‍යයන සේවිකාවක වැඩ නිමකර නිවසට යද්දී ඝාතනය කිරීම වසර 10 ක පෙමට පිටුපෑමේ සිදුවීමක් මත ඇගේ පෙම්වතා විසින් සිදු කර ඇති බවට අනාවරණය විය. දම්පහල මහ විදුහලේ සංවර්ධන නිලධාරිනියක ලෙස අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය කළ 29 හැවිරිදි සිතාරී මධුමාලී මේ සිදුවීමෙන් ඝාතනය විය.
ඇය පාසල නිමවී බස් රථයෙන් පැමිණි, පා ගමනින් යමින් සිටියදී නිවස ආසන්නයේදී මෙම පිහි ඇණුමට ලක්වී ඇත. තරුණිය නිවෙස දෙසට තනිවම ඇවිද යමින් සිටියදී ඒ අසල සැඟවී සිටි ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයා ඇයගේ බෙල්ල කපා පපුවට පිහියෙන් ඇන ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.
තරුණියගේ කෑ ගැසීම ඇසුණු ඒ අවට පිරිස වහා පැමිණ ඇය ත්‍රිරෝද රථයකින් ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් රෝහලට ඇතුළත් කරන විටත් ඇය මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
එම තරුණයා තරුණියට පිහියෙන් ඇන ඝාතනය කිරීමෙන් පසුව දිවගොස් ඊට මීටර් 100ක් පමණ දුරින් පිහිටි රඹුටන් ගසකට නැග ඇති බව පොලිසිය පවසයි.
ඔහු නැග සිටි රඹුටන් ගස යට ඊයේ (14) සවස විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබු අතර පොලිසියේ දැඩි ඉල්ලීම මත තරුණයා ගසෙන් බිමට බැස ඇති බවද පසුව ඔහු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඌරුබොක්ක, කිරිපිටිය. පොල්පැල දෙණිය, ප්‍රදීප් නිවස පදිංචි 32 හැවිරිදි අයෙකි.
මෙම ඝාතනයේ සැකකරු හා ඇය අතර ප්‍රේම සම්බන්ධතාවක් මුල්කරගෙන මෙම ඝාතනය සිදු වූ බවට සාක්ෂි ලැබී ඇත.
මේ දෙදෙනා අතර වසර 10ක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති නමුත් මෑතක සිට තරුණිය ප්‍රේම සම්බන්ධතාව නතර කිරීමටත් පෙම්වතා මහ හරිමින් සිට ඇති බවටත් එයට උරණවී හැසිරී ඇති පෙම්වතා අතින් මෙම ඝාතනය සිදුව ඇති බවටත් පොලිසිය සැක කරයි.
සිය පෙම්වතිය ඝාතනය කිරීමට පෙර තවත් අයකු සමඟ එක්ව ඔහු මත්පැන් පානය කර ඇති අතර එසේ ආ පුද්ගලයා මඟහැර පැමිණ ඝාතනය සිදු කර ඇති බව පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ තරුණිය පවුලේ බාලයා වන අතර ඇයට වැඩිමහල් සහෝදරයකු සහ සහෝදරියකු සිටින අතර උපාධිය ලබා ගැනීමෙන් පසු සංවර්ධන නිලධාරිණියක ලෙස දම්පහළ මහා විද්‍යාලයේ සේවයට පැමිණි ඇත. අද (15) දින සහෝදරියගේ දරුවකුට බත් කැවීම සිදුවන බැවින් ඒ සඳහා සහභාගි වීමට යයි පවසා නිවාඩු ලබාගෙන පාසලෙන් පැමිණ ඇති බවට ඥාතීහු පවසති.
ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයට මොරවක මහේස්ත්‍රාත්වරයා පැමිණීමට නියමිතව ඇති අතර මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර රෝහලට රැගෙන ගිය අතර අද 15 වැනිදා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවට පොලිසිය පැවැසීය.
ඝාතනයට ලක් වූ තරුණියගේ දේහය ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇත.
මාතර පොලිස් නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

Comments
Post a Comment
Your comment will be visible after approval