urubokka-investigation

ඌරුබොක්ක පොලිස් වසමේ හීගොඩ, හුළංකන්ද පාර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුළු වී ගිනිඅවියක් පෙන්වා නිවැසියන් බිය ගන්වා රුපියල් කෝටියකට අධික මුදල් හා ස්වර්ණාභරණ, ජංගම දුරකථන පැහැරගෙන කොල්ලකරුවන් පලාගිය මෝටර් රථය වලස්මුල්ල ප්‍රදේශයේ නිවසක තිබියදී පෙරේදා (12දා) සවස සොයාගත් බවට ඌරුබොක්ක පොලීසිය පවසයි. ඉකුත් 11 දින දහවල් 11.00-11.30 අතර කාලයේ මුඛ ආවරණ පැලඳ පැමිණි පුද්ගලයන් හතරදෙනෙකු නිවසට ඇතුළු වී ගිනිඅවියක් හා පිහි පෙන්වා පුද්ගලයන් බිය ගන්වා ඔවුන් කාමර දෙකකට දමා සිරකර නිවසේ තිබූ රු. 9,850,000.00ක් මුදල්, රු.325,000.00ක් වටිනා රන්භාණ්ඩ, රු. 17,000.00ක් වටිනා ජංගම දුරකථන තුනක් කොල්ලකා ඇති අතර ඒ සඳහා පැමිණි මෝටර් රථය මෙසේ හමුවී ඇත



මෙය පොලිස් නිලධාරියකුගේ බිරිදට අයත් මෝටර් රථයක් බවත්, එය වලස්මුල්ල ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබාදෙන ආයතනයකට ලබා දී ඇති බවත්, නිවසේ තිබූ මෝටර් රථය ඉකුත් 09 දින සවස 3.45 ට පමණ කුලී පදනම මත පුද්ගලයෙකු රැගෙන ගොස් ඇති බවත් අනාවරණය වේ. එසේ රැගෙන ගිය මෝටර්  රථය 10 දින රාත්‍රී රත්නපුර ඇහැලියගොඩ ප්‍රදේශයේ තිබී ඇති අතර, පසුදා එනම් 11 දින ඇඹිලිපිටිය හරහා ඌරුබොක්කට පැමිණ ඌරුබොක්ක ප්‍රදේශයේ පිරවුම්හලකින් ඉන්ධන ලබාගෙන මංකොල්ලයට පැමිණ ඇති බව පොලීසිය පවසයි.

මංකොල්ලය සිදුකර කොල්ලකරුවන් මෝටර් රථයෙන් පලායන අවස්ථාවේ වරාපිටිය අඹගහහේන ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇති බවත්, අනතුරෙන් මෝටර් රථයේ ඉදිරිපස වම් පැත්තට හානි සිදුව ඇති බවත්, පසුව වරාපිටියෙන් දෙයියන්දර දෙසට ගොස් වලස්මුල්ලට පැමිණ 11 දින සවස මෝටර් රථය අයිතිකරුට භාර දී ඇති බවත් පොලීසිය පවසයි. මෝටර් රථය අයිතිකරුට භාරදෙන අවස්ථාවේ, අනතුරට පත්වීමෙන් සිදුවූ අලාභයට රුපියල් 75,000.00ක මුදලක් අයිතිකරුට ලබාදී ඇත.



මෝටර් රථය අයිතිකරුගෙන් රැගෙන ගොස් ඇත්තේ ව්‍යාප් රියැදුරු බලපත්‍රයක් පෙන්වමිනි. මෝටර් රථය කුලී පදනම මත ලබාදීමෙන් පසු රැගෙන ගිය පුද්ගලයන් කිලෝමීටර් 650 ආසන්න දුරක් ධාවනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මීට පෙරද මෙම මෝටර් රථය විවිධ පුද්ගලයත් කුලියට රැගෙන ගොස් ගංජා ප්‍රවාහනය, රන් මාලයක් කොල්ලකෑම ඇතුළු සිද්ධි හතරක් සම්බන්ධව අධිකරණවල නඩු විභාග වන බවට පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් මෝටර් රථය මේ වන විට ඌරුබොක්ක පොලීසියට රැගෙන විත් ඇත. මාතර 6 සහකාර පොලිස් අධිකාරී ලාල් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත ඌරුබොක්ක පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිතානන්ද මහතාගේ මූලිකත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක පතිරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. මංකොල්ලයට සම්බන්ධ මෝටර් රථය සොයාගත්තත් මෙතෙක් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ඌරුබොක්ක පොලීසිය පැවසීය.
ඩී.ඒ.පනිරණ