uragasmanhandiya-english-boys

සහජයෙන්ම ඉංග්‍රීසි භාෂාව හසුරුවන සම  වයසේ දරුවන් සිවු දෙනකු ඌරගස්මංහන්දිය  ප්‍රදේශයෙන් අපට හමුවිය. සමවයසේ පසුවන මෙම දරුවන් හතර දෙනා කොස්ගොඩ පෞද්ගලික පාසලකදී එකට මුණගැසී ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් ගුවන් යානාවල ගමන් කිරීමත්, ගුවන් යානා අනතුරු දර්ශනය වන රූපවාහිනි දසුන්  පවා දැකීමට දැඩි බියක් දක්වති. මෙම දරු දෙදෙනා පවසන්නේ හිටි හැටියේ ගුවන් යානා කඩා වැටෙන බැවින් ඒවායේ ගමන් කිරීම අනතුරුදායක බවය.

මෙම දරුවන් සිවු දෙනාම සාමාන්‍ය පවුල් දරුවෝ වෙති. ඔවුන් සමග ඉංග්‍රීසි භාෂාව කතාකිරීමට ඔවුන්ගේ මාපියන්ටද හැකියාවක් නොමැත. මෙම දරුවන් පාසලේ ඉගැන්වීම් කරන අතර ගුරුවරුන්ගෙන් අමතර ප්‍රශ්න අසන්නට ගොස් බැණුම් අසන සිදුවීම් කිහිපයක්ද ඔවුහු සිහිපත් කළහ. මෙම දරුවන් ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පාසල් කිහිපයක අධ්‍යාපනය ලබන අතර ඔවුහු විවිධ ක්ෂේත්‍ර පිළිබඳව ඉංග්‍රීසි බසින් තොරතුරු කියති.



කොස්ගොඩ පෞද්ගලික පාසලක පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පරප්පුව, ඌරගස්මංහන්දිය පදිංචි පුලිඳු පවන් පුරසිංහ (10) සිසුවා දැනට වසර කිහිපයකට පෙර රූපවාහිනියේ ගුවන් යානයක් කඩා වැටෙන අයුරු දැක ඒ මොහොතේ පටන් ඉංග්‍රීසි කතා කිරීමට පටන්ගත් බව ඔහුගේ මව අප සමග පැවසුවාය. ඩයිනෝසරයන්ගේ බර, විශාලත්වය හා ඔවුන්ගේ ආහාර මෙන්ම ඔවුන්ගේ සංචරන රටා පමණක් නොව ඩයිනෝසරයන්ගේ සටන් ගැනද පුලිඳු හොඳින් විග්‍රහ කරයි. එම තොරතුරුවලට අමතරව ඔහු එකිනෙකට ගලපා ගැනීමට අපහසු ඉතිහාසගත තොරතුරු රැසක් ගැන පවසයි.

ඌරගස්මංහන්දිය ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඌරගස්මංහන්දිය, බෝගහවෙල පදිංචි ඩබ්ලිව්.ඒ. මිහින මන්දාර (09) සිසුවා පිළිකා රෝග පිළිබඳව විග්‍රහ කරනුයේ විශේෂඥ වෛද්‍යවරයෙකු මෙනි. තවද ඇස හා හෘදය පිළිබඳ පවසන තොරතුරු විස්මයජනකය. ශාරීරික ඉන්ද්‍රියන් හා ඒවාට වැලඳෙන රෝගාබාධ හා රෝගාබාධ ඇති වීමට හේතු මෙන්ම ඊට කළයුතු ප්‍රතිකාර ආදියද ඔහු පවසයි.



 ඌරගස්මංහන්දිය, වල්අඟුරුකැටිය කනිටු විදුහලේ පස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඌරගස්මංහන්දිය කිරිමැටියාව පදිංචි ඒ.ඒ. භාෂිත කෝවින්ද (09) සිසුවා ඩයිනෝසරයන් හා මුහුදු පැළෑටි හා මුහුදු ජීවීන් පිළිබඳව තොරතුරු කියයි. කරන්දෙණිය මඩකුඹුර රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ පස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඌරගස්මංහන්දිය උතුරු මාගල පන්සල අසළ පදිංචි ආර්.එච්. ලක්මාල් රාජරත්න (10) සිසුවා විශේෂ තොරතුරක් නොපැවසුව ද ඔහුගේ ඉංග්‍රීසි කතා කිරීමේ සුවිශේෂී බවක් පෙන්වයි. මොවුන්ගේ පරිනත ඉංග්‍රීසි භාෂණය හා ඔවුන්ගේ බුද්ධිය නිවැරදි මග පෙන්වීමක් සහිත පහසුකම් ඇති ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කර නිසි පුහුණුවක් ලබා දිය හැකි නම් එය ඔවුන්ගේ අනාගතයට මහත් පිටිවහලක් වනු ඇත.

අමරසිරි රණසිංහ