sudarma-house-maid-dies

චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ වැලිකඩ කුරේ මාවතේ පිහිටි නිවසේ රුපියල් ලක්ෂ 19 කට අධික වටිනා රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නිවෙසේ මෙහෙකාරිය පොලිසිය තුළ හදිසියේ

රෝගාතුර වී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ 10 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.



මෙම සිද්ධියෙන් පසු පොලිස්පතිවරයා විසින් වැඩතහනම් කළ සහ ස්ථාන මාරුවීම් ලද පොලිස් නිලධාරීන් මෙම පිරිස අතර සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. ඉදිරියේ වැලිකඩ  හිටපු ස්ථානාධිපතිවරයාගෙන් හා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගෙන් ද ප්‍රකාශ ලබාගන්නා බවද එම ආරංචි මාර්ග පවසයි. ඉකුත් මාර්තු මස හා අප්‍රේල් මස අතර මෙම සොරකම සිදුව ඇති බවත්, එහිදී සොරාගත් භාණ්ඩ සම්බන්ධයෙන්  සුධර්මා නෙත්තිකුමාර මහත්මිය ඉකුත්දා (10) වැලිකඩ පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇත.

නිවසේ තිබී රුපියල් ලක්ෂ 10 ක ට අධික වටිනා දියමන්ති මුද්දක්, රුපියල් ලක්ෂ 6 ට අධික වටිනා මැණික් ඇල්ලු අත් බෑගයක්, බෝතලයක් රුපියල් 30,000 වටිනා සුවඳ විලවුන් බෝතල් 5 ක්, අධික මිලෙන් යුතු ක්‍රීම්  වර්ග, ආලේපන, නිය ආලේපන, පාවහන් ඇතුළු රුපියල් ලක්ෂ 19 ක් වටිනා භාණ්ඩ තොගයක් මෙලෙස  සොරාගෙන ගොස් ඇති බවට ඇය පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.



එම සොරකම සම්බන්ධයෙන් එම නිවෙසේ මෙහෙකාරියක වශයෙන් සිටි බදුල්ල ප්‍රදේශයේ පදිංචි ආර් ජයකුමාර් (41) නැමැති තිදරු මවක අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය පොලිසිය තුළ රෝගාතුරවී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. එම සිද්ධියෙන් අනතුරුව පොලිසියට විවිධ පාර්ශ්ව මගින් චෝදනා එල්ලව තිබූ අතර, පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඉන්දිකා රාමනායක