seetha-speaks

සති තුන හතරක කාලයකට ඇඟ වැහෙන ඇඳුමක් ඇඳගෙන පාසල් ඒමට දරුවන්ට අවස්ථාව සලසා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි.
පාසල් දරුවන්ව මදුරු විකර්ෂක ගැන දැනුවත් කළ යුතු බවත් දරුවන්ට මේ කාලසීමාව තුළ විශේෂිත ඇඳුමක් නොවුණත් තියෙන ඇඳුමකට හෝ අවසර ලබා දිය යුතු බවත් ඇය සඳහන් කළාය.



ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා පත් කළ බස්නාහිර පළාත් අනු කමිටුව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) රැස්වු අවස්ථාවේ මෙම අදහස් පළ විය.


ඩෙංගු ආසාදිතයෙකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම සිදු කළ යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි.



ඒ අනුව ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා රෝගීන් මෙන්ම ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා තුරු සියලු උණ රෝගීන්ද මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ජනතාව පෙළඹවිය යුතු බව ඇය කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ඩෙංගු පාලනය සඳහා අමාත්‍ය කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර එම විශේෂඥ කමිටුව මඟින් පළාත් මට්ටමින්ද අනුකමිටු 09ක් පත් කර තිබෙයි.