
ප්‍රේම සම්බන්ධතාවක් බිඳවැටීමෙන් ඇති වූ කලකිරීමක් හේතුවෙන් හිටපු හමුදා සෙබළකු ඔහු විසින්ම සකස් කර ගන්නා ලද බව පැවසෙන බෝම්බයක් පුපුරවාගෙන පෙරේදා (14) රාත්‍රියේ දිවිනසාගෙන ඇතැයි මැණික්හින්න පොලිසිය පවසයි. ඔහු ගල්කඩුව පිහිල්ල අසලට පැමිණ බෝම්බය පුපුරවාගෙන ඇතැයි පොලිසිය කියයි. බෝම්බය පුපුරවා ගැනීමෙන් ඔහුගේ උකුල ප්‍රදේශයෙන් දෙකට කැඩී වෙන් වී ගොස්, කකුල් දෙක ද කැඩී සිරුරෙන් වෙන් වී ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙසේ මියගොස් ඇත්තේ දෙල්ගස්ලන්ද, ලුණුකැටියාමඩිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සුසන්ත රූපසිංහ නමැත්තෙකි. ඔහුගේ සොහොයුරකු මේ සම්බන්ධයෙන් මැණික්හින්න පොලිසියට පෙරේදා රාත්‍රියේ පැමිණිලි කිරීමෙන් පසු පොලිසියේ කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කළේය.
කලක් යුද හමුදාවේ සේවය කර ඇති ඔහු පසුව විදුලි කාර්මිකයකු ලෙස සේවය කරමින් සිට ඇත. විවාහක බිරිඳගෙන් දික්කසාද වී සිටි ඔහු පසුව ප්‍රදේශයේ තරුණියක සමග කලක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි. ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගිය බව කියන තරුණිය එම සම්බන්ධතාව නතර කර දැමීම නිසා සිත් වේදනාවට පත්ව ඔහු මෙසේ සිදු කර ගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. මැණික්හින්න පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය