police-officer-accident

මහරගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයකු පැදවූ මෝටර් මෝටර් රථයක් බත්තරමුල්ල ප්‍රදේශයේදී වෙනත් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි ත්‍රිරෝද රථ රියැදුරකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි. මෙම අනතුර ඉකුත් 1 වැනිදා සිදුව ඇති අතර, ඉන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 2 වැනිදා මිය ගොස් ඇත.



මෙසේ මියගොස් ඇත්තේ, මල්වානේ පිඩලිවත්ත ප්‍රදේශයේ පදිංචි කේ.එම්.එල්. සමරවීර (54) නමැති අයෙකි.

පොලිස් පරීක්ෂකවරයා රාජකාරි විවේකය ලබා සිටියදී ඉකුත් 1 වැනිදා රාත්‍රී 10.30ට පමණ බත්තරමුල්ල දෙස සිට පන්නිපිටිය දෙසට මෝටර් රථය බීමතින් පදවාගෙන ගොස් ඇති අතර, එහි ගමන් ගත් වෙනත් මෝටර් රථයක වේගයෙන් ගැටී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් පරික්ෂකවරයාගේ මෝටර් රථයේ ගැටුණු එම මෝටර් රථය ඉදිරියට ඇදී ගොස්, අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටී ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් 2 වැනිදා මියගොස් ඇත.

බීමතින් මෝටර් රථයක් පැදවීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් එස්.එන්. අල්විස් නමැති පොලිස් පරීක්ෂකවරයා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර ඇත.

තලංගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ඉන්දිකා රාමනායක