fuel-price-change-benefits

මාසයේ අවසාන දිනයේදී සැලකිය යුතු මුදලකින් ඉන්ධන මිල අඩු වීමෙන් පිරිවුම්හල් හිමියන්ට විශාල පාඩු සිදුවන බවත්, මේ නිසා එම දිනයේදී තිබෙන තොග අලෙව් කිරීමෙන් සිදුවන පාඩුව රජය විසින් ගෙවීමට කටයුතු කළ යුතු බවත් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මිල සූත්‍රයට අනුව මාසයේ අන්තිම දිනයේ මධ්‍යම රාත්‍රියේදී සැලකිය යුතු මුදලකින් ඉන්ධන මිල අඩු වීම නිසා පිරවුම්හල් හිමියන්ට පාඩු සිදුවේ.

මේ නිසා සමහර පිරවුම්හල් හිමියන්ට ඉන්ධන ඇණවුම් කිරීමට පවා මුදල් නොමැති තත්ත්වයක් ඇතිවේ. ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන අවස්ථාවේදී 50% ක ඉන්ධන තොග නොතිබූ පිරවුම්හල්වලට ක්‍රියා මාර්ග ගන්නා බවට ඛනිජතෙල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබේ. මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමෙන් පිරවුම්හල් හිමියාත් පාරිභෝගිකයාත් පීඩාවට පත්වන බවද සංගමය සඳහන් කරයි.

යම් ලෙසකින් බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළහොත් අදාළ පිරිවුම්හල අවට තිබෙන අනෙකුත් පිරවුම්හල්වල තදබදයක් නිර්මාණය වන බවත්, මේ නිසා කළ යුතු වන්නේ මිල සංශෝධනයක් සිදුවන දින මධ්‍යම රාත්‍රිය වන විට පිරවුම්හලේ පවතින ඉන්ධන තොග අලෙවි කිරීමේදී සිදුවන පාඩුව පිරවුම්හල්වලට ලබා දීම බවද පෙන්වා දෙයි.

දැනට පවතින නීතියට අනුව ඉන්ධන තොග ගෙන්වා ගැනීමට පිරවුම්හල් හිමියන් විසින් සංස්ථාවට මුලින්ම මුදල් ගිණුම්ගත කළ යුතු බවත්, මීට පෙර ඉන්ධන තොග ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්‍රමයක් තිබූ බවත් මේ නිසා මෙම ක්‍රමය නැවත ඇති කළ යුතු බවත් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

 එච්. අයි. තුෂාර