
නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත්කිරීමේ රජයේ යෝජනාවට නුවරඑළියේ ස්වේච්ඡා සංවිධාන රැසක, තැපැල් සේවකයන්ගේ හා ජනතාවගේ දැඩි විරෝධය පළ වී තිබේ. මෙරට බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට සර් විලියම් ග්‍රෙගරි, සැමුවෙල් බේකර් යන ආණ්ඩුකාරවරුන් යටතේ නුවරඑළිය නගරය පාලනය වූ සමයේ සිටම තැපැල් කාර්යාලය ලෙස පැවත එන අතර නුවරඑළියේ අනන්‍යතාව සලකුණු හැටියට හදුන්වනු ලැබේ. නුවරඑළියට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් මෙය නැරඹීමට විශේෂ කාලයක් වෙන් කර ගනු ලබනුයේ එහි සුබපැතුම්පත් තැපැල් මගින් තමන්ගේ රටේ සිටින පවුලේ සාමාජිකයන්ට යැවීමේ අරමුණිනි.
මෙවන් වටිනාකම්වලින් හා මෙරටට විදේශ විනිමය ගෙන එනු ලබන ශ්‍රී ලංකාවට හා නුවරඑළියට මිල කළ නොහැකි සම්පතක් ලෙස එදා මෙදා තුර සැලකෙන නුවරඑළිය තැපැල් කාර්යාලය ශ්‍රී ලංකාවේ මූලික පෙළේ සංචාරක ප්‍රවර්ධන ආයතනයක් යටතට පවරාගෙන සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යෑමට ඉදිරිපත් වී ඇති රජයේ යෝජනාවට සමස්ත ලංකා තැපැල් සේවක සංගමය ඇතුළු සියලු තැපැල් වෘත්තීය සමිතිවල විරෝධය එල්ල වී ඇත.
මේ සදහා සිය විරෝධය පළ කරනු වස් තැපැල් කාර්යාලය අවට ස්ථාන කිහිපයක බැනර් ප්‍රදර්ශනය කර තිබූ අතර නුවරඑළිය හඞ සංවිධානය මාධ්‍ය වෙත සිය විරෝධතාව වාචිකව ප්‍රකාශ කරන්නට කටයුතු කරනු ලැබ තිබේ.
නුවරඑළිය හඬ සංවිධානයේ ලේකම් පියසේන කහඳගමගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ ඓතිහාසික වටිනාකම්වලින් පරිපූර්ණ නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයකට අලෙවි කිරීමේ රජයේ සැලසුමට නුවරඑළිය රැකගැනීම වෙනුවෙන් දේශපාලනික හාව්‍යාපාරික අරමුණින් තොරව කටයුතු කරන සිය සංවිධානයේ සියලුම සාමාජිකයන්ගේ බලවත් විරෝධතාව පළ කරන බවයි.
රංජිත් රාජපක්ෂ
Comments
Post a Comment
Your comment will be visible after approval