jerom-fernando-black-money

බුද්ධාගමට සහ අන්‍ය ආගම්වලට අපහාස  කිරීමේ චෝදනා ලැබ සිටින දේවගැති  ජෙරම් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (15) දැනුම්  දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෂවින්ද්‍ර වික්‍රම මහතා මේ බව දැනුම් දුන්නේ තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී ය. මෙම රිට් පෙත්සම යෝෂිත රාජකරුණා සහ එච්.ඒ.ආර්. මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත  අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි. මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස නම් කරනු ලැබ සිටිති.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෂවින්ද්‍ර වික්‍රම මහතා කියා සිටියේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් මුදල් විශුද්ධකරණය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකරන බවත් මෙම පෙත්සම ගොනුකර ඇත්තේ මාධ්‍ය වාර්තා පදනම් කරගෙන බවත් ඒ අනුව මෙම පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙසය.

ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා කියා සිටියේ මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති නඩු කටයුතු පිළිබඳ කරුණු වසන් කර ඇති බැවින් අදාළ තොරතුරු අධිකරණයට වසන් කර ඇති බවත්ය. ඒ අනුව මෙම පෙත්සම මෙම මස 19 වන දිනට කල් තැබිණි.

රංජන් කටුගම්පොළ